ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම බිඳවැටී නොමැති බවත්, පක්ෂයේ අභිමානය සහ ජනතා මෙහෙවර තවදුරටත් නොවෙනස්ව පවතින බවත් අවධාරණය කරමින් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම අදහස් පළ කළේය. වත්මන් රජයේ ආර්ථික පිළිවෙත සහ ඉටු නොවූ පොරොන්දු දැඩි විවේචනයට ලක් කළ ඒ මහතා, ඉදිරි දේශපාලන ගමන සඳහා සියලු පාර්ශවයන් පක්ෂය වටා රොද බැඳගත යුතු ආකාරය මෙහිදී පැහැදිලි කළේය.

“ගෞරවනීය ආගමික නායකයන්ගෙන් අවසරයි. මගේ නායක නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයෙන් අවසරයි. ජී.එල්. පීරිස් මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයිනි, ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු අනෙකුත් පක්ෂවලින් පැමිණි ආරාධිත අමුත්තනි,
බොහෝ දෙනෙක් සිතා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳවැටී ඇති බවයි. නමුත් මම අවධාරණය කරනවා, අපි කිසිදා වැටෙන්නේ නැති බව. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා පැවසූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ‘සැලූන් දොරක්’ වැනි ය. මිනිසුන් ඒ තුළින් පැමිණිය හැකිය, පිටව යා හැකිය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් වට්ටන්නට බැහැ.
මෙම අවස්ථාවේදී අපේ නායකතුමාට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. පසුගිය වසර දෙක තුන පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළේ එතුමායි. එදා නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා මැදිහත් නොවූයේ නම්, අද වන විට මෙවැනි පක්ෂයක් ඉතිරි නොවන්නට ඉඩ තිබූ බව මම සිහිපත් කරනවා. ඒ වගේම අපේ ජාතික සංවිධායක චාමර සම්පත් මැතිතුමා ගැනත් කිව යුතුමයි. අද පාර්ලිමේන්තුව තුළ අපට සිටින්නේ සාමාජිකයන් දෙදෙනෙකු පමණක් වුවත්, විපක්ෂයේ සැබෑ හඬ නියෝජනය කරන්නේ එතුමායි. සංඛ්‍යාත්මකව අඩු වුවද, විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඉටු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.
අද මෙම මැයි දින රැලිය ඉතා සාර්ථකව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධායකතුමාට අපගේ ගෞරවය හිමිවිය යුතුයි. එතුමා සෑම දිස්ත්‍රික්කයකටම ගොස් කළ කැපවීමේ ප්‍රතිඵලය තමයි අද අප මේ දකින්නේ. මෙය හුදෙක් රැස්වීමක් නොව, අනාගතයේදී අපේම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දමන ලද ශක්තිමත් අත්තිවාරමයි.
අද ‘මාලිමාව’ ආණ්ඩුවක් පවතිනවා. සාමාන්‍යයෙන් දේශපාලනයේදී හතුරා වන්නේ විපක්ෂයයි. නමුත් මම අසනවා අද ආණ්ඩුවේ සැබෑ හතුරා කවුද කියා? ඔවුන් එදා කීවේ සුරංගනා කතායි. මම රජයෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පිළිතුරු දෙන්න කියා. බලය ලබා ගැනීමට පෙර ඔබ ජනතාවට දුන් පොරොන්දු වලින් එකක් හෝ මේ වන විට ඉටු කර තිබේද? ඔබ එදා කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවා. නමුත් බලය ලැබුණු පසු මේ රටේ පොදු ජනතාවට ඉතිරි කළේ කුමක්ද?
සහෝදර සහෝදරියනි, අද අපේ රටේ දුගී දුප්පත් ජනතාවට සහ වැඩ කරන ජනතාවට පවතින අධික ජීවන වියදම දරාගත හැකිද? අද ජනතාව ජීවත් වීමට සටනක නිරතව සිටිනවා. රජය පවසනවා බදු ආදායම් විශාල ලෙස එකතු කළ බව. ආදායම් බදු, මත්පැන් බදු සහ රේගු බදු හරහා මුදල් රැස් කර තිබෙනවා. නමුත් එම මුදල්වලින් ජනතාවට ලැබුණු සහනය කුමක්ද? පෙට්‍රල් මිල දෙස බලන්න; මෙවැනි මිලක් යටතේ ජනතාවට ජීවත් විය හැකිද? ඖෂධ මිල, භාණ්ඩ මිල සහ ජීවන වියදම අඩු කරන බවත්, සහනාධාර සහ පොහොර ලබා දෙන බවත් එදා පැවසුවා. නමුත් අද වනතුරුත් ඒවා ඉටු වී නැහැ.



