විශේෂ අධිකරණ විශ්ලේෂන වාර්තාවකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව ලබන අප්‍රේල් මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ. විමර්ශන කටයුතු සඳහා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ ද, ඔහු මේ වන විටත් නඩුකරයේ සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.
“මේ පුද්ගලයා දැන් සැකකරුවෙක්. නිකන් රඳවාගෙන සිටින පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු යි.” – කොළඹ කොටුව මහේස්ත්‍රාත්

සාක්ෂිකරුවන්ට බලපෑම් සහ CID යේ චෝදනා
නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා CID නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහිදී CID නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
“ස්වාමීනි, පසුගිය නඩු දිනයට පසු දින යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් මීගමුව ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවෙකුගේ නිවසට ගොස් තිබෙනවා. එම සැකකරු මේ වන විට නිවසින් පලා ගොස් වෙනස් ස්ථානයක ජීවත් වෙනවා. මේ සාක්ෂිකරු වෙත සැකකාර සුරේෂ් සලේ විසින් මුස්ලිම් ජාතිකයන් පිරිසක් යොමු කර තිබෙන බව ඔහුගේ කට උත්තරයේ සඳහන් කර තිබුණා. ප්‍රදේශයේ පල්ලි පිළිබඳ තොරතුරු එම මුස්ලිම් ජාතිකයින්ට ලබා දෙන ලෙස සුරේෂ් සලේ දැනුම් දී තිබූ බවත් එම සාක්ෂිකරු තමන්ගේ ප්‍රකාශයේ සඳහන් කර තිබුණා.” – CID නිලධාරීන්
සාක්ෂිකරුවන්ට සිදුවන බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා, අවශ්‍ය නම් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ පියවර ගන්නා ලෙසට ද නියෝග කළේය.
විත්තියේ නීතිඥ තර්කය: "මෙය යුක්තිය අපගමනය කිරීමක්"
සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ දැඩි විරෝධයක් මතු කරමින් පෙන්වා දුන්නේ, මෙම විමර්ශනය සම්පූර්ණයෙන්ම යුක්තිය අපගමනය වන ආකාරයේ (Miscarriage of Justice) පරීක්ෂණයක් බවයි. ඔහු ඒ සඳහා ජාත්‍යන්තර හා දේශීය පරීක්ෂණ වාර්තා මූලාශ්‍ර කරගනිමින් මෙසේ තර්ක කළේය.

“ස්වාමීනි මේක සම්පූර්ණයෙන් ම යුක්තිය අපගමනය වන ආකාරයේ පරීක්ෂණයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය, ඔස්ට්‍රේලියාවේ ෆෙඩ්රල් පොලිසිය මගින් විශේෂ විමර්ශන පවත්වා තිබෙනවා. ඒ සෑම විමර්ශන ආයතනයක් ම ප්‍රකාශ කරලා තිබෙන්නේ අයි.එස්.අයි.එස් සංවිධානය සමග එක්ව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් මේ ප්‍රහාරය එල්ල කළ බව පමණ යි. මේ ප්‍රහාරයට මගේ සේවාදායකයා සම්බන්ධ යි කියලා ඒ කිසිදු විදේශීය විමර්ශන ආයතනයක් ප්‍රකාශ කරලා නැහැ. ඊට අමතරව පාස්කු ප්‍රහාරයෙන් පසුව විජිත් මලල්ගොඩ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති පරීක්ෂණ කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඇතුළු කොමිෂන් සභා කිහිපයකින් ම විමර්ශන සිදු කරලා තිබෙනවා. ඒ කිසිදු විමර්ශනයකින් මගේ සේවාදායකයාට චෝදනා එල්ල වෙලා තිබුණේ නෑ.” – නීතිඥ අසිත් සිරිවර්ධන
විමර්ශනවල පවතින පක්ෂපාතීත්වය සහ සාක්ෂි වසන් කිරීම පිළිබඳව ද විත්තියේ නීතිඥවරයා බරපතළ චෝදනා මාලාවක් අධිකරණය හමුවේ දිගහැරියේය.
“මාගේ සේවාදායකයාට එරෙහිව මේ වන විට විදේශයක දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයෙකු චැනල් ෆෝ රූපවාහිනී නාලිකාවට ප්‍රකාශයක් කළා. එම පුද්ගලයාගෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරගෙන නෑ. ඒ වගේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු හංගනවා… ‘හාදියා‘ නමැති තැනැත්තියගෙන් අලුතින් සටහන් කර ගත් ප්‍රකාශයක සඳහන් වෙනවා සාහින්දමරුදු පිපිරීම සිදුවූ අවස්ථාවේ සාරා ජස්මින්ගේ කටහඬ තමන්ට ඇසුණු බවට. ඒත් එම තැනැත්තිය මීට වසර හයකට පමණ පෙර එවක කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ රංග දිසානායක මහතාට ලබා දීලා තිබෙන ප්‍රකාශයේ එවැන්නක් සඳහන් කර නෑ. මියගිය සාරා ජස්මින් නමැත්තියගේ ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ලබා දුන් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කර නෑ. එම ප්‍රකාශයේ සිය සේවාදායකයාට වාසිදායක තොරතුරු තිබෙන නිසයි එය අධිකරණයට ඉදිරිපත් කළ නැත්තේ.”
ශානි අබේසේකර සහ පක්ෂපාතීත්වයේ ගැටලුව
විත්තියේ ප්‍රබලතම තර්කය ගොඩනැගුණේ වත්මන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ භූමිකාව සම්බන්ධයෙනි. ජයකී ද අල්විස් කොමිසම මගින් අපරාධ නඩු ගොනු කිරීමට නිර්දේශ කර ඇති පසුබිමක සහ ඔහු දේශපාලනයේ නිරත වූ බවට අධිකරණය පිළිගෙන ඇති තත්ත්වයක් තුළ, ඔහු යටතේ සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බව නීතිඥවරයා පැවසීය.
“ස්වාමීනී…, වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මගේ සේවාදායකයාට විරුද්ධව සිදු කරන පරීක්ෂණවලින් යුක්තිය අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා මේ පරීක්ෂණය ඔහු ප්‍රධානත්වය නොදරන පොලිසියේ ඕනෑ ම අංශයකට මාරු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” – නීතිඥ අසිත් සිරිවර්ධන
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඊට ලබා දුන් ප්‍රතිචාරය මෙසේය.
“මේ නඩුකරයට පාදක වන සිද්ධිය බරපතළ අපරාධයක්. ඒ වගේ ම මේක සංවේදී විමර්ශනයක්. මෙවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බලන්න ප්‍රබල කරුණු ඉදිරිපත් විය යුතු යි. ඒ පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු යි. මේ සිද්ධියට අදාළ මුල් විමර්ශනය ආරම්භ කර තිබෙන්නෙත් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යටතේ. එනිසා මේ විමර්ශනය වෙනත් අංශයකට මාරු කිරීම් නිසා ප්‍රබල කරුණු අධිකරණයට පෙනී යන්නේ නැහැ.” – කොළඹ කොටුව මහේස්ත්‍රාත්
විත්තියේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් CID නිලධාරීන් අධිකරණය හමුවේ සිය විමර්ශනවල අරමුණ පැහැදිලි කළේය.
“ස්වාමීනී…, මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවට ආරම්භ කළ විමර්ශනයක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය සමග සැඟවී තිබෙන තොරතුරු අනාවරණය කර ගැනීමට යි මේ විමර්ශනය ආරම්භ කරලා තිබෙන්නේ. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරා නොගියේ ඇයි?. සිහින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ නියාස් නමැති යුද හමුදා තොරතුරුකරු වෙඩි තබා ඝාතනය කළ ආකාරයට, බෝම්බ පිපිරිම් සඳහා කොළඹ හා මඩකලපුව තෝරා ගත්තේ ඇයි?” – CID නිලධාරීන්
දේශපාලන හා නෛතික විශ්ලේෂණය: යුක්තිය ද? නැතහොත් බල අරගලයක් ද?
වෘත්තීය මාධ්‍යවේදී වාර්තා සහ දේශපාලන විද්‍යාත්මක විශ්ලේෂකයින්ට අනුව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වත්මන් විමර්ශන ක්‍රියාවලිය දෙස බැලීමේදී, මෙය හුදෙක් අපරාධ යුක්ති ක්‍රියාවලියකට (Criminal Justice Process) පමණක් ලඝු කළ නොහැක. එය වත්මන් ආණ්ඩුකරණයේ දේශපාලන න්‍යාය පත්‍රය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින බල අරගලයේ පැහැදිලි කැඩපතක් බවට පත්වෙමින් තිබේ.
කාල නිර්ණය සහ සාක්ෂිවල ස්වභාවය: ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ නොසිටි අතර, ඔහු ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පුහුණුවක නිරතව සිටියේය. ජාත්‍යන්තර මට්ටමේ බුද්ධි ආයතන මෙන්ම දේශීය වශයෙන් පත් කළ කොමිසන් සභා සහ කමිටු කිහිපයක් මගින් සවිස්තරාත්මක වාර්තා සම්පාදනය කර තිබියදීත්, ඒ කිසිවකින් මතු නොවූ චෝදනාවක් වත්මන් දේශපාලන අධිකාරිය යටතේ හිටිහැටියේ ඉස්මතු වීම නීති විද්‍යාත්මකව (Jurisprudential) මෙන්ම දේශපාලනිකව ද බරපතළ සැක සංකා මතු කරයි.
“තෝරාගත් යුක්තිය” සහ විමර්ශනවල විශ්වාසනීයත්වය: ටාජ් සමුද්‍රා බෝම්බය පුපුරා නොගියේ ඇයි සහ නියාස් ඝාතනය වූයේ කෙසේද යන්න වැනි “සැඟවුණු තොරතුරු” සෙවීම තම අරමුණු බව CID ය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ ද, ගැටලුව මතුවන්නේ එම විමර්ශනය මෙහෙයවන පාර්ශ්වයේ විශ්වාසනීයත්වය (Credibility) සම්බන්ධයෙනි.
නීතියේ මූලික සිද්ධාන්තයක් වන්නේ “යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු බවත්ය” (Justice must not only be done, but must also be seen to be done). තමා දේශපාලනයේ නිරත වූ බවට ඉහළම අධිකරණයට දිවුරුම් පෙත්සමක් මගින් පිළිගත්, මෙන්ම වෙනත් පරීක්ෂණ කොමිසමකින් චෝදනා ලැබූ නිලධාරියෙකු යටතේ මෙම විමර්ශනය සිදුවීම, සමස්ත ක්‍රියාවලියම ‘දේශපාලන දඩයමක්’ (Political Witch-hunt) ලෙස අර්ථකථනය වීමට කදිම අවකාශයක් නිර්මාණය කර ඇත.
මෙම නඩුකරය හුදෙක් එක් හිටපු බුද්ධි නිලධාරියෙකුගේ ඉරණම තීරණය කිරීමක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන යාන්ත්‍රණය දේශපාලන අරමුණු වෙනුවෙන් ආයුධයක් ලෙස භාවිත කිරීමේ පැරණි සම්ප්‍රදායේ තවත් එක් පරිච්ඡේදයක් ද යන්න ඉදිරි අධිකරණ ක්‍රියාදාමය හරහා සමාජයට තහවුරු වනු ඇත. දේශපාලන බල ව්‍යුහයන් සහ නීතියේ ආධිපත්‍යය අතර පවතින මෙම ගැටුම තවදුරටත් පුළුල් කතිකාවකට ලක්විය යුතු මාතෘකාවකි.



