Friday, April 3, 2026
spot_img

Latest Posts

රටේ ප්‍රධාන දොරටුව අරාජික වෙමින් පවතීද?

විශේෂ වාර්තාකරුවකු විසිනි

ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයකට සෙසු ලෝකය සමඟ සම්බන්ධ විය හැකි ප්‍රධානතම සහ වේගවත්ම මාධ්‍යය වන්නේ ගුවන් සේවයයි. සරලවම කිවහොත්, ගුවන් සේවා ක්ෂේත්‍රය යනු ජාත්‍යන්තරය ඉදිරියේ දිගහැරෙන ‘ශ්‍රී ලංකාවේ මුහුණුවරයි’ (The Face of the Country). එහෙත්, මෑත ඉතිහාසයේ කිසිදු දිනෙක නොදුටු විරූ අස්ථාවරත්වයකට සහ අර්බුද රැසකට මේ වන විට මෙරට ගුවන් සේවා කර්මාන්තය මුහුණ දෙමින් සිටී.

ගුවන් සේවා කර්මාන්තයේ ප්‍රධාන කුළුණු තුනක් ලෙස සැලකෙන ජාතික ගුවන් සේවය (SriLankan Airlines), ගුවන් තොටුපළ කළමනාකරණ සමාගම (AASL) සහ නියාමන අධිකාරිය (CAASL) යන ආයතන තුනම මේ වන විට දැඩි නායකත්ව අර්බුද සහ අභ්‍යන්තර ගැටුම් වලින් පිරී පවතී.

සංචාරක කර්මාන්තයේ ගෙල සිරකරන AASL හි නායකත්ව රික්තය

ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගම (AASL) යනු රටේ ගුවන් තොටුපළවල් කළමනාකරණය කරන ප්‍රධානතම ආයතනයයි. සංචාරකයෙකු හෝ විදේශීය ආයෝජකයෙකු මෙරටට පය තබන ප්‍රධාන දොරටුව මෙය වන අතර, රට පිළිබඳව ඔවුන් තුළ ඇතිවන ‘ප්‍රථම ප්‍රතිරූපය’ (First Impression) තීරණය වන්නේ ගුවන් තොටුපළේ ක්‍රියාකාරීත්වය මතය.

නමුත් මේ වන විට AASL හි සභාපතිවරයාව සිටි හර්ෂ අබේවික්‍රම මහතා ඉවත් කර මාසයකටත් වැඩි කාලයක් ගත වී ඇතත්, පූර්ණ කාලීන සභාපතිවරයෙකු පත් කර නැත. දැනට එහි වැඩ බලන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. ඊටත් වඩා බරපතල කාරණය නම් ආයතනයට ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) ද නොමැති වීමයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පැය 24 පුරාම සක්‍රීයව පවත්වා ගත යුතු ගුවන් තොටුපළක් වැනි සංකීර්ණ මෙහෙයුමක්, නිසි පූර්ණකාලීන නායකත්වයක් නොමැතිව මෙහෙයවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. මෙය ඍජුවම මෙරට සංචාරක කර්මාන්තයේ අනාගතය අවදානමට ලක් කිරීමකි.

ජාතික ගුවන් සේවයේ (SriLankan Airlines) භාරකරුවන් පිළිබඳ විශ්වාසයේ ගැටලුව

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තත්ත්වයද මීට දෙවෙනි නොවේ. ආයතනය මෙහෙයවීමට ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) නොමැති අතර, සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද ඇත්තේ දැඩි මතභේදාත්මක තත්ත්වයකි.

සභාපතිවරයා, ගුවන් සේවා ක්ෂේත්‍රයේම වෙනත් පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු ලෙසද කටයුතු කිරීම හේතුවෙන් මෙහිදී පැහැදිලි ‘බැඳියාවන් අතර ගැටුමක්’ (Conflict of Interest) නිර්මාණය වී ඇත. ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ව්‍යාපාරික අවස්ථා එම පෞද්ගලික සමාගම වෙත යොමු කරන බවට එල්ල වන චෝදනා හේතුවෙන්, ජාතික ගුවන් සේවයේ අනාගතය සහ විනිවිදභාවය පිළිබඳව බරපතල සැකමතු වී තිබේ.

නියාමකයා තුළම ඇතිවන ගැටුම්: CAASL හි බල අරගලය

සමස්ත කර්මාන්තයේම ප්‍රමිතිය සහ ආරක්ෂාව නියාමනය කළ යුතු සිවිල් ගුවන්සේවා අධිකාරිය (CAASL) මේ වන විට යුද පිටියක් බවට පත්ව ඇත. එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පවතින බල අරගලය දැන් එළිපිටම සිදුවන රණ්ඩු දක්වා දුරදිග ගොස් තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය ‘ගුවන් හමුදාකරණයකට’ ලක් කරමින් සිටින බවට ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. සිවිල් ගුවන් සේවය යනු හමුදා මෙහෙයුමකට වඩා හාත්පසින්ම වෙනස් වූ, ජාත්‍යන්තර සිවිල් ප්‍රමිතීන්ට අනුව සිදුවිය යුතු ක්‍රියාවලියකි. මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරුහිව කර්මාන්තයේ නියැලෙන්නන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කරන තත්ත්වයට සහ මාධ්‍ය ඉදිරියේ එළිපිට විවේචනය කරන තත්ත්වයට පත්වීම, අධිකාරියේ කීර්ති නාමයට විශාල කැළලකි.

රජයේ අවධානය සහ අවබෝධය

වෙනත් අමාත්‍යාංශ සහ විෂය පථයන් මෙන් නොව, ගුවන් සේවා කර්මාන්තය යනු අතිශය සංවේදී, ජාත්‍යන්තර නීති රීති වලට යටත් වූ සහ දැඩි තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන ක්ෂේත්‍රයකි. එහෙත් වර්තමානයේ සිදුවන මෙම අක්‍රමිකතා දෙස බැලීමේදී පෙනී යන්නේ, රජයට මෙම විෂය පථයේ ඇති සංවේදීතාව සහ වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවය යන්න ගුවන් සේවා ක්ෂේත්‍රයේ බහුතරයකගේ මතය වී තිබේ.

මෙම ආයතන තුනෙහිම පවතින අර්බුද වහාම සමනය කර, නිසි සුදුසුකම් සහ පළපුරුද්ද සහිත වෘත්තිකයින් පත් නොකළහොත්, ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය යළි ගොඩගත නොහැකි අගාධයකට ඇද වැටීම වැළැක්විය නොහැක. එය හුදෙක් ගුවන් යානා කිහිපයක ප්‍රශ්නයක් නොව, සමස්ත රටේම ආර්ථිකයේ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපයේ කඩාවැටීමක් වනු ඇත.

Latest Posts

spot_imgspot_img