Saturday, April 4, 2026
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරීගෙන් ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශයක්: “මහින්දගේ සහ නාමල්ගේ නම් කියන්නැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් මට මරණ තර්ජනය කළා”

ආන්දෝලනාත්මක 2016 ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් ලබා දුන් කටඋත්තරය, දැඩි බලපෑම් සහ මරණ තර්ජන මධ්‍යයේ ලබා ගත් එකක් බව පවසමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔහුගේ නීතිඥවරයා හරහා මාර්තු 18 වන දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී අත්සන් කර නිකුත් කර ඇති මෙම දිවුරුම් ප්‍රකාශය මගින් චෝදනා කරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් අදාළ ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් තමන්ට තර්ජනය කළ බවයි.

පසුබිම් කතාව:

මීට පෙර අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ, 2016 එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 60ක මුදලක් වාර තුනක් යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවත්, තවත් රුපියල් මිලියන 20ක මුදලක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබා දුන් බවටත් කපිල චන්ද්‍රසේන මහතා සිය කටඋත්තරයෙන් ප්‍රකාශ කර ඇති බවයි.

දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් බරපතළ හෙළිදරව්ව:

එහෙත්, එම ප්‍රකාශය තමන් ස්වේච්ඡාවෙන් ලබා දුන්නක් නොවන බව කපිල චන්ද්‍රසේන මහතා දැන් අවධාරණය කරයි. ඔහු පවසන්නේ 2026.03.12 වන දින ප්‍රකාශය ලබා දීමට ගිය අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් තමන්ව ප්‍රකාශ සටහන් කරගන්නා කාමරයෙන් ඉවතට රැගෙන ගොස් මෙම තර්ජනය කිරීම් සිදු කළ බවයි.

විදුලි සෝපානය තුළදී සිදු වූ බලපෑම සම්බන්ධයෙන් ඔහු මෙසේ සඳහන් කර ඇත:

“ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ. අපිට ඕන දේ කියන්න, නැත්නම් ඇරෙස්ට් කරන්න වෙනවා යනුවෙන් (එක් නිලධාරියෙක්) ප්‍රකාශ කළ බවත්, එවිට මා ‘සිද්ධ වුන දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ’ ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.”

අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මැදිහත්වීම: පසුව ඔහුව පළමු මහලේ පිහිටි හිස් කාමරයකට රැගෙන ගොස් ඇති අතර, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතා එතැනට පැමිණ තර්ජනාත්මක ස්වරයෙන් කතා කළ බව දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

අධ්‍යක්ෂක ජනරාල්වරයා කළ බව කියන තර්ජනය කපිල චන්ද්‍රසේන මහතා සිය දිවුරුම් ප්‍රකාශයේ උපුටා දක්වා ඇත්තේ මෙලෙසිනි:

“මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා… මිනිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මන්ට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි, පොඩි එකාගෙ නමයි කියනවා… ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා… මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා.”

නීතිඥ සහාය අහිමි කිරීම සහ ප්‍රකාශය ලබා ගැනීම: මෙම තර්ජනය කිරීම් වලින් පසුව, සිය නීතිඥවරයා හමුවීමට අවශ්‍ය බව පැවසුවද නිලධාරීන් ඊට ඉඩ ලබා නොදුන් බව ඔහු පවසයි.

අධ්‍යක්ෂක ජනරාල්වරයා එල්ල කළ මෙම දැඩි පීඩනය සහ මරණ බිය හේතුවෙන් තමන් අන්ත අසරණ වූ බව පවසන කපිල චන්ද්‍රසේන මහතා, හිටපු ජනාධිපතිවරයාගේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සහ තම බිරිඳගේ නම් ඇතුළත් කරමින් නිලධාරීන්ට අවශ්‍ය පරිදි කටඋත්තරය ලබා දුන් බව පිළිගනී.

ඒ අනුව, ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුවට අදාළව එම පාර්ශවයන්ට එල්ල කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම තමන් ස්වේච්ඡාවෙන් කළ ඒවා නොවන බවත්, එය තනිකරම අල්ලස් කොමිසමේ නිලධාරීන් මරණ බිය ඇති කරමින් බලාත්කාරයෙන් සටහන් කරගත් ඒවා බවත් ඔහු සිය දිවුරුම් ප්‍රකාශය හරහා තහවුරු කර ඇත.

ආණ්ඩුවේ වගකීම:

කෙසේ වුවත්, මෙවැනි බරපතළ සිදුවීම් හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන පිළිබඳව පවතින ජනතා විශ්වාසය දැඩි ලෙස පළුදු වීමත්, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පැතිරී යාමත් නොවැළැක්විය හැක්කකි. එබැවින්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම උදෙසා මෙම ආන්දෝලනාත්මක සිදුවීම සහ නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදු කිරීම ආණ්ඩුවේ සෘජු වගකීමක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

සටහන - මෙනයින් කපිල චන්ද්‍රසේන යනු අහිංසකයෙක් ලෙස ගැනිය නොහැකිය. ඔහු එයාර් බස් ගනුදෙනුව නැමැති ජාත්‍යන්තරව පවා තහවුරු වූ මූල්‍ය අපරාධයක මූලික ‌කොටස්කරුවෙකු ලෙස නම් කෙරුනු හිටපු විධායක නිළධාරියෙකි.

Latest Posts

spot_imgspot_img