නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල් අඟුරු තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවත්, මේ සම්බන්ධයෙන් ලබා දී ඇති ඉන්දීය රසායනාගාර වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව දැඩි සැකයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේදී අනාවරණය වී තිබේ.
මෙම කරුණු අනාවරණය වූයේ, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව (SOC), එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පැවති රැස්වීමේදීය. මෙම අවස්ථාවට ලක්විජය බලාගාරය, ලංකා කෝල් සමාගම (LCC), ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) උසස් නිලධාරීන් සහභාගී වී ඇත.
වාර්තා අතර බරපතල පරස්පරතා
කමිටුව හමුවේ අනාවරණය වූ පරිදි, ගල් අඟුරු නැව්ගත කළ වරාය (Load Port) සහ ගොඩබෑ වරාය (Discharge Port) විසින් නිකුත් කරන ලද තත්ත්ව වාර්තා, ලක්විජය බලාගාරය විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තා සමඟ කිසිසේත්ම නොගැලපේ.
ලක්විජය බලාගාරයේ අභ්‍යන්තර වාර්තාවලට අනුව, මෙරටට ළඟා වූ පළමු ගල් අඟුරු නැව්ගත කිරීම් තුනෙහිම දළ තාපජ අගය (Gross Calorific Value – GCV) කිලෝග්‍රෑමයකට 5,900 kcal (kcal/kg 5,900) ට වඩා අඩු අගයක් ගෙන ඇති බව තහවුරු වී ඇත. මෙය බලාගාරයේ කාර්යක්ෂමතාවයට සෘජුවම බලපාන බරපතල තත්ත්වයකි.
ඉන්දීය ලැබ් වාර්තා ගැන සැකයක්
මෙහිදී වඩාත් ආන්දෝලනාත්මක කරුණ වූයේ අලාභ අය කර ගැනීම පිළිබඳව CEB ය ඉදිරිපත් කළ දත්තයි. CEB ලේඛනවලට අනුව, පළමු නැව්ගත කිරීමෙන් සිදු වූ බලශක්ති අලාභය දඩ මුදල් පැනවීම මගින් ආවරණය කර ගැනීමට හැකි වී ඇත. නමුත් පුදුමයකට මෙන්, ඉන් පසුව පැමිණි නැව්ගත කිරීම්වලින් සිදු වූ අලාභය එලෙස අය කර ගැනීමට නොහැකි වී තිබේ.
පළමු නැවේ අලාභය පමණක් සම්පූර්ණයෙන්ම පියවා ගැනීම සැක සහිත බවත්, මේ අනුව අදාළ ගල් අඟුරු තොග සම්බන්ධයෙන් සහතික ලබා දුන් “ඉන්දීය පරීක්ෂණාගාර වාර්තාවල” විශ්වසනීයත්වය පිළිබඳව බරපතල ගැටළුවක් පවතින බවත් කමිටුවේදී අවධාරණය කෙරිණි.
ස්වාධීන පරීක්ෂණයක් සහ විගණකාධිපති නිර්දේශ
මෙම තත්ත්වය හමුවේ, කමිටු සභාපති එස්. එම්. මරික්කාර් මහතා නිර්දේශ කළේ, රැස්වීමට ඉදිරිපත් කළ වාර්තාවල සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නැව්ගත කිරීම් සම්බන්ධයෙන් “ස්වාධීන පරීක්ෂණාගාරයක්” (Independent Laboratory) මගින් නැවත පරීක්ෂණ සිදු කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත යුතු බවයි.
තවද, ආර්ථික අර්බුදයට මුවාවී ලිහිල් කරන ලද ලංකා කෝල් සමාගමේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. 2023 වසරට පෙර පැවති පැරණි ලියාපදිංචි කිරීමේ රාමුව නැවත ක්‍රියාත්මක කළ යුතු බවට විගණකාධිපතිවරයා විසින් මීට පෙර නිර්දේශ කර තිබුණි.
එම තීරණාත්මක විගණකාධිපති නිර්දේශය කැබිනට් මණ්ඩලය වෙත දැනුම් නොදී පැහැර හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කමිටුව විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.
අවසානයේ, මෙම අඩු ගුණාත්මක ගල් අඟුරු භාවිත කර විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් රටට සිදු වූ “සැබෑ මූල්‍ය අලාභය” කොපමණදැයි නිවැරදිව ගණනය කර ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම (PUCSL) වෙත කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.



