කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව යොමු කරනු ලැබ ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අප එම කොමිසමේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කතානායකවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියෝග කර ඇති බවයි.
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට ඉකුත්දා පැමිණිල්ලක් කෙරිණ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරන අන්දමට මෙරට කතානායකවරයකුට එරෙහිව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයෙකු මේ ආකාරයෙන් දූෂණ සහ අක්‍රමිකතා චෝදනා පැමිණිල්ලක් යොමු කරන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි

චමින්ද කුලරත්න කතානායකවරයාට විරුද්ධව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත
* නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම
* වාහන අවභාවිතය
* පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම
* නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීමට සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම,
* නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම,
* තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම ,
* පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම,
ඔහු එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනාය.
කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදීද ඊයේත් පෙරේදාත් අදහස් දැක්වූහ.
උපුටාගැනීම – (lankalokaya | අසේල පෙරේරා)



