Saturday, February 14, 2026
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ගුවන් සේවය අගාධයට? සිවිල් ගුවන් සේවා අධිකාරියේ “එයාර්ෆෝස්කරණය” සහ ICAO ‘කළු ලැයිස්තු’ අවදානම!

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය තීරණය කරන ප්‍රධානතම නියාමන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ පා සිටී. අභ්‍යන්තර ආරංචි මාර්ග සහ අනාවරණය වී ඇති ලිපි ලේඛනවලට අනුව, ආයතනය තුළ සිදුවන අයථා පත්වීම්, මූල්‍ය අක්‍රමිකතා සහ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) විගණනයේදී ශ්‍රී ලංකාව “අසාදු ලේඛනගත” (Black List) වීමේ බරපතල අවදානමක් මතුව තිබේ.

මෙම අර්බුදයේ මූලික හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ක්‍රමානුකූලව “එයාර්ෆෝස්කරණය” (Air-forcization) හෙවත් හමුදාකරණයට ලක් කිරීමයි.

සුදුසුකම් නොමැති පත්වීම් සහ පරිපාලන ගැටළු

වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය පත් කිරීමේදී සිවිල් පරිපාලන සුදුසුකම් නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු සඳහා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 18කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී, ඔවුන් සම්මුඛ පරීක්ෂණ සඳහා හෝ නොකැඳවා ගුවන් හමුදා නිලධාරීන් පමණක් බඳවා ගැනීමේ ක්‍රියාවලියක් දියත් කර ඇති බව වාර්තා වේ. මෙය ආයතනයේ ස්වාධීනත්වයට සහ සිවිල් ස්වභාවයට එල්ල වූ මරු පහරකි.

ගුවන් බලපත්‍ර ලබා දීමේ අක්‍රමිකතා සහ ආරක්ෂක තර්ජන

අනාවරණය වී ඇති වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ (DG) ගුවන් නියමු සුදුසුකම් පිළිබඳවයි. “Flight Training Schedule” වාර්තා වලට අනුව, අදාළ නිලධාරියා පුහුණු අදියර 7 සහ 8 හිදී අසතුටුදායක (Unsatisfactory – 1) ප්‍රතිඵල ලබා තිබියදීත්, අයථා ලෙස ගුවන් බලපත්‍ර (License) ලබා දී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියමුවන් පවා මොහුගේ පියාසර කිරීම් සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබීමෙන් මෙම තත්ත්වයේ බරපතලකම පැහැදිලි වේ.

එමෙන්ම, ‘Seaplane‘ (දියබුන් යානා) පැදවීම සඳහා අත්‍යවශ්‍යව තිබූ ‘Seaplane Rating’ නීතිය අත්තනෝමතික ලෙස ඉවත් කිරීම හේතුවෙන්, නිසි පුහුණුවක් නොමැති ගුවන් හමුදා නියමුවන් සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා යොදවා ඇත. මෑතකදී නුවරඑළියේ සිදුවූ Seaplane අනතුර මෙහි ප්‍රතිඵලයක් බව විචාරකයින් පෙන්වා දෙයි.

බිලියන 3ක මූල්‍ය වංචාවක්?

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පැත්තෙන්ද බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. ‘Fits Air’ ආයතනයෙන් රජයට අය විය යුතු රුපියල් බිලියන 3ක පමණ මුදලක් අය කර නොගෙන, කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව කටයුතු කිරීම පිටුපස සැකකටයුතු ගනුදෙනුවක් පවතින බවට තොරතුරු හෙළිවෙමින් පවතී. මෙම මුදල් අහිමි වීම රටේ ආර්ථිකයට විශාල පාඩුවකි.

ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සහ හිතවත්කම් මත බලපත්‍ර

ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (David Pieris Aviation) සමාගමට ගුවන් බලපත්‍ර ලබා දීමේදී ද පිළිගත් ක්‍රමවේදයන් උල්ලංඝනය කර ඇති බවත්, එයට ප්‍රධාන හේතුව එම සමාගමේ ප්‍රධානියා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතර පවතින පෞද්ගලික හිතවත්කම් (පෙර හමුදා සේවයේ ජ්‍යෙෂ්ඨත්වය) බවත් පැවසේ.

අනාගත අනතුර: සංචාරක කර්මාන්තයට මරු පහරක්

මෙම වසරේ අග හෝ ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත ICAO ජාත්‍යන්තර විගණනයේදී මෙම කරුණු තහවුරු වුවහොත්, ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම අසාදු ලේඛනයට (Black List) ඇතුළත් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ:

  1. ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන සියලුම ගුවන් යානා සඳහා අමතර රක්ෂණ වාරික ගෙවීමට සිදුවීම.
  2. ජාත්‍යන්තර ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීම ප්‍රතික්ෂේප කිරීම.
  3. යන්තම් හිස ඔසවාගෙන එන සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීම සිදුවිය හැකිය.

එබැවින්, වගකිවයුතු බලධාරීන් වහාම මැදිහත් වී මෙම “එයාර්ෆෝස්කරණය” නතර කර, සුදුසුකම් ලත් සිවිල් නිලධාරීන් මගින් ආයතනයේ පාලනය ස්ථාපිත කළ යුතුය. එසේ නොමැති නම්, එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ සමස්ත රටටමය.

(ඉහත අනාවරණය නෙත් නිවුස් සහ අභ්‍යන්තර ආරංචාමාර්ග ඇසුරින් සකස් කළ ලිපියකි. මේ පිළිබඳ ඔබගේ ප්‍රති පිළිතුරු දීම් හෝ කරුණු අසත්‍යයැයි හැඟෙන්නේ නම් ඒවා නිවැරදි කර පෙන්වීමට අපගේ වෙබ් අඩවියෙහි ඉඩකඩ විවරව ඇති බව කරුණාවෙන් සලකන්න)

Latest Posts

spot_imgspot_img