වත්මන් රජයේ ප්‍රබල තනතුරක් හොබවන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි කරමින්, පාර්ලිමේන්තුවේ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහ ලේකම්වරයා අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය. මෙම සිදුවීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපයට එල්ල වී ඇති අභියෝගය හමුවේ මීළඟ කථානායකවරයා කවුරුන් වේදැයි දේශපාලන කරළියේ කතාබහක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ගොනු කරන ලද මෙම පැමිණිල්ල මගින් කථානායකවරයා රාජ්‍ය දේපළ, වාහන, නිල නිවාස සහ මානව සම්පත් අවභාවිතා කළ ආකාරය පිළිබඳව ලිඛිත සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කර ඇත.
පෞද්ගලික ආරවුලක් ද? දූෂණ විරෝධී සටනක් ද?
චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිතුන් ඩයස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙය රජයට එරෙහිව නොව, කථානායකවරයාගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් බවයි.
2025 ජුනි මස කථානායකවරයාගේ කෑම කාමරයේදී සිදුවූ පෞද්ගලික සිදුවීමක් මුල් කරගෙන ඇති වූ ද්වේශය මත, කථානායකවරයා විසින් නීති විරෝධී ලෙස විශ්‍රාමික නිලධාරියෙකු යොදවා වාර්තාවක් කැඳවා කුලරත්න මහතාගේ වැඩ තහනම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
හෙළිදරව් වූ ප්‍රධාන දූෂණ චෝදනා 07
අල්ලස් කොමිසම වෙත භාරදුන් ලිපියට අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා මෙසේය:
1. වාහන සහ ඉන්ධන ජාවාරම: කථානායකවරයාට නිල වශයෙන් හිමි වන්නේ වාහන 02ක් සහ ඉන්ධන ලීටර් 900කි.
එහෙත් ඔහු අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුව සතු WP NC 4923 දරන වෑන් රථය මාස 06කට අධික කාලයක් තිස්සේ ඉන්ධන ද ලබා ගනිමින් පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කර ඇත .
2. ඩබල් ඉන්ධන දීමනා: 2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ කථානායකවරයාට හිමි ඉන්ධන ලීටර් 900ට අමතරව, කිසිදු අනුමැතියකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ඉන්ධන ලීටර් 568ක දීමනාවද ලබා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 20ක පමණ පාඩුවක් සිදු කර ඇතැයි චෝදනා කෙරේ .
3. බත් පතෙන් ගැසූ දූෂණය: කථානායකවරයාගේ අමුත්තන් සඳහා දිවා ආහාර වේලක් වෙනුවෙන් රු. 900ක් අය කළ යුතු වුවද, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා කථානායකවරයා සමඟ එකම මේසයේ ආහාර ගනිමින් ගෙවා ඇත්තේ කාර්ය මණ්ඩල ගාස්තුව වන රු. 150ක් පමණි. මෙය දිගින් දිගටම සිදුවීම හරහා රජයේ මුදල් අවභාවිතා වී ඇත .
4. නිල නිවාස දෙකක් පරිහරණය: කථානායකවරයාට හිමි රජමල්වත්ත නිල නිවස භාවිතා කරන අතරතුරදීම, නීති විරෝධී ලෙස කොළඹ 04, ලොරිස් පටුමග පිහිටි රජයේ නිල නිවසක් (අංක 8-1) සිය නමට වෙන් කරවාගෙන භාවිතා කිරීම සහ රජමල්වත්ත නිල නිවසේ බඩු භාණ්ඩ එතැනට ගෙන යාම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
5. නීති විරෝධී විමර්ශන නිලධාරියෙකු පත් කිරීම: චමින්ද කුලරත්න මහතාට එරෙහිව විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ නැමැත්තා නීති විරෝධී ලෙස පත්කර, ඔහුට රු. 274,975ක මුදලක් සහ දින 11ක් පුරා දිවා ආහාර හා ප්‍රවාහන පහසුකම් පාර්ලිමේන්තු ගිණුමෙන් ලබා දී ඇත .
6. පරිපාලනයට අත පෙවීම: මහ ලේකම්වරයාගේ බලතලවලට අත පොවමින් කාර්ය මණ්ඩලයේ උසස්වීම්, විදේශ ශිෂ්‍යත්ව සහ පත්කිරීම් සඳහා කථානායකවරයා අත්තනෝමතික ලෙස මැදිහත් වී ඇත .
7. තොරතුරු පනත උල්ලංඝනය: තම කාර්ය මණ්ඩලය සහ වරප්‍රසාද සම්බන්ධයෙන් සිවිල් සංවිධාන විසින් තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ කළ ඉල්ලීම් ලබා නොදෙන ලෙස කථානායකවරයා විසින් ලිඛිතව නියෝග කරමින් තොරතුරු වසන් කර ඇත .
මීළඟ පියවර කුමක්ද?
පැමිණිලිකරු වන චමින්ද කුලරත්න මහතා අල්ලස් පනතේ 74-78 වගන්ති යටතේ “අපරාධ තොරතුරු හෙළි කරන්නන්ගේ රැකවරණය” (Whistleblower Protection) ඉල්ලා සිටින අතර, මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ .
මාලිමා ආණ්ඩුව යටතේ කථානායක ධූරයට පත් දෙවැන්නා ජගත් වික්‍රමරත්න වන අතර පළමුවෙන් පත්වූ අශෝක රන්වල ආචාර්ය උපාධියක් සම්බන්ධ සිදුවීමක් පාදක කොටගෙන එකී තනතුරෙන් ඉල්ලා අස්විය.
මෙම බරපතල හෙළිදරව්ව මාලිමාණ්ඩුව තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති අතර, විනිවිදභාවය පදනම් කරගත් රජයක දෙවන පුරවැසියාට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනා හමුවේ ඔහු තනතුරෙන් ඉවත් කරනු ඇත්ද? නැතහොත් ඔහුත් තනතුරෙන් ඉල්ලා අස්වෙයිද? යන්න රටම බලා සිටී.










