ක්‍රීඩා වාර්තාකරු
ලබන සතියේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය උණුසුම් වෙද්දී, ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන ක්‍රීඩාංගණවල තණතීරු (Pitches) සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දැඩි අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තා පළව ඇත.
විශේෂයෙන්ම කොළඹ ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී (SSC) සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල තණතීරු සකස් කිරීමේ ක්‍රියාවලියට විවිධ පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වන බවට ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සිදු කර ඇති වාර්තා මෙයට හේතු වී ඇත.
කියුරේටර්වරුන් පත්ව ඇති අසීරුතාව


සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරගාවලියකදී තණතීරු සකස් කිරීමේ පූර්ණ අධීක්ෂණය සිදු කරනු ලබන්නේ ICCය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥයෙකු (Pitch Expert) විසිනි. කෙසේ වෙතත්, මෙවර ශ්‍රී ලංකාවේ පවත්වන තරග සඳහා තණතීරු සකසන්නන්ට (Curators) නිදහසේ සිය රාජකාරිය කිරීමට ඉඩ නොලැබෙන බවට තොරතුරු අනාවරණය වේ.
වාර්තාවලට අනුව, මෙම බලපෑම්වල ප්‍රධාන මූලාශ්‍රය වී ඇත්තේ කණ්ඩායම් පුහුණුකරුවන්ය. තමන්ට හිතකර ලෙස තණතීරු වෙනස් කිරීමට උත්සාහ කිරීම මධ්‍යස්ථ තරග රටාවකට බාධාවක් බව ICCයේ මතයයි.
අතීත සිදුවීම් සහ විදෙස් කණ්ඩායම්වල සූදානම

ශ්‍රී ලංකාවේ තණතීරු සැකසීම පිළිබඳව විදෙස් කණ්ඩායම් සැමවිටම පසුවන්නේ අවධානයෙනි. මීට පෙර අවස්ථාවලදීද ශ්‍රී ලංකාව තුළ “දඟ පන්දු යවන්නන්ට පමණක්” උචිත (Turners) තණතීරු සකස් කරන බවට විදෙස් මාධ්‍ය චෝදනා එල්ල කර තිබුණි.
- ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කණ්ඩායම්වල උපක්‍රම – ශ්‍රී ලංකාවේ තණතීරුවල හැසිරීම් කලින් හඳුනාගෙන, ඇතැම් විදෙස් කණ්ඩායම් පසුගිය වසරවලදී ලංකාවට පැමිණීමට පෙර දූවිලි සහිත සහ වියළි තණතීරු (Dusty pitches) මත පුහුණුවීම් සිදු කර තිබුණි.

- පූර්ව වසරවල මතභේද – ගාල්ල සහ ප්‍රේමදාස ක්‍රීඩාංගණවල තණතීරු සම්බන්ධයෙන් මීට පෙර ICCය විසින් නිල නොවන මට්ටමින් කරුණු විමසා තිබූ අතර, ඇතැම් අවස්ථාවලදී තණතීරු සඳහා “සාමාන්‍යයට වඩා අඩු” (Below Average) මට්ටමේ සහතික පවා නිකුත් කර තිබේ.
මෙවැනි පසුබිමක, මෙවර ලෝක කුසලානයේදී “ගෘහස්ථ වාසිය” (Home Advantage) ලබා ගැනීම සඳහා පුහුණුකරුවන් විසින් කියුරේටර්වරුන්ට බලපෑම් කිරීම ICCයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

ICCයේ වගකීම සහ ඉදිරි පියවර
ICC රෙගුලාසි අනුව, ලෝක කුසලානයක් වැනි ඉහළ පෙළේ තරගාවලියකදී තණතීරුව පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට යන දෙපාර්ශවයටම සාධාරණ විය යුතුය (Sporting Pitches). කිසිදු කණ්ඩායමකට විශේෂ වාසියක් නොලැබෙන පරිදි මධ්‍යස්ථ මට්ටමින් තණතීරු පවත්වාගෙන යාමට ICC විශේෂඥයින් ඉදිරි දින කිහිපයේදී මෙම ක්‍රීඩාංගණවල පූර්ණ පාලනය සියතට ගැනීමට නියමිතය.



