Saturday, February 14, 2026
spot_img

Latest Posts

තුම්මුල්ල පෙන්තාරා අර්බුදය: හෝම්ලෑන්ඩ් වෙනුවෙන් නීතිය නවන ‘බෝලය’ නගර සභාවට! බල්තසාර් නගරාධිපතිනියත් හිරවෙයිද?


කොළඹ (ජනවාරි 22):

තුම්මුල්ලේ ඉදිවන “හෝම්ලෑන්ඩ් පෙන්තාරා” නිවාස ව්‍යාපෘතිය වටා ගෙතී ඇති අනුමැතීන්ගේ අර්බුදය දැන් තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ. මෙතෙක් කල් නීතියේ සිදුරු තුළින් රිංගා යමින් ව්‍යාපෘතියට අනුමැතිය ලබාදුන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA), දැන් එම වගකීමේ ‘බෝලය’ කොළඹ මහ නගර සභාව (CMC) දෙසට පාස් කර ඇඟ බේරා ගැනීමට උත්සාහ කරමින් සිටී.

උස තීරණය කළ ‘බොරුව’ අධිකරණය හමුවේ හෙළි වෙයි

මෙම ගැටලුවේ මූලිකම සාධකය වන්නේ ගොඩනැගිල්ලේ උසයි. නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් රෙගුලාසිවලට අනුව ගොඩනැගිල්ලක උස තීරණය වන්නේ එයට ප්‍රවේශ වන මාර්ගයේ පළල මතය. හයිලෙවල් පාරට අමතරව ක්ලෙශන් පාරෙන් ද මෙම භූමියට ප්‍රවේශය ඇති බව පවසමින්, වැඩි උසක් සඳහා අනුමැතිය ලබාගැනීමට හෝම්ලෑන්ඩ් සමාගම සමත්ව තිබුණි.

එහෙත්, ඊයේ (21) “මාතෘභූමී” සංවිධානය ගොනුකළ නඩුව අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී හෙළි වූයේ බරපතල කරුණකි. එනම්, කොළඹ මහ නගර සභාව සහ UDA හි රථවාහන බලපෑම් තක්සේරු වාර්තාව (TIA) මගින් මීට පෙර ක්ලෙශන් පාරෙන් ප්‍රවේශය ලබාදිය නොහැකි බව ඉතා පැහැදිලිව දන්වා තිබියදී, UDA එක එම කරුණ වසන් කර (හෝ බොරු කියා) ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී ඇති බවයි.

නගර සභාවට එල්ල වන ‘දේශපාලන’ පීඩනය

අධිකරණය හමුවේ තමන් කොටු වූ බව වටහා ගත් හෝම්ලෑන්ඩ් සමාගම, අද (22) දිනයේ යළිත් UDA එක වෙත ගොස් ඇත්තේ අදාළ ප්‍රවේශය ඇති බවට තහවුරු කරගැනීමටය. එහෙත් UDA නිලධාරීන් දැන් ඉතා සූක්ෂ්ම ලෙස එම වගකීම නගර සභාව මත පටවා තිබේ. ඒ අනුව, මේ මොහොතේ හෝම්ලෑන්ඩ් කළමනාකාරීත්වය වත්මන් නගරාධිපතිනිය හමුවී තම අවශ්‍යතාවට සරිලන පරිදි ලිපියක් ලබාගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.

මෙහි ඇති භයානක තත්ත්වය නම්, “ක්ලෙශන් පාරෙන් ප්‍රවේශය දිය නොහැක” යනුවෙන් මීට පෙර නගර සභාව විසින්ම ලබාදුන් නිල ස්ථාවරයට පටහැනිව, දේශපාලන බලය හෝ වරප්‍රසාද මත දැන් අලුතින් ලිපියක් නිකුත් කිරීමට සූදානම් වීමයි.

නගරාධිපතිනියට කෙරෙන විවෘත අනතුරු ඇඟවීම

කැලී බල්තසාර් නගරාධිපතිනිය ඇතුළු නගර සභා බලධාරීන් තේරුම් ගත යුතු කරුණක් ඇත. මෙම සිදුවීම දැන් හුදු පරිපාලනමය කරුණක් නොව, අභියාචනාධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තකට අදාළ ප්‍රධාන සාක්ෂියකි.

  1. පෙර ලබාදුන් ලිපියට ප්‍රතිවිරුද්ධව, වැරදි තොරතුරු මත පදනම්ව හෝම්ලෑන්ඩ් සමාගමට ලිපියක් ලබාදුනහොත්, එය අධිකරණය නොමඟ යැවීමක් ලෙස සැලකේ.
  2. එවැනි ක්‍රියාවක් හරහා නගරාධිපතිනිය සහ අදාළ නිලධාරීන් සෘජුවම මෙම වංචනික ක්‍රියාවේ හවුල්කරුවන් බවට පත්වනු ඇත.
  3. නීතියට පටහැනිව ලබාදෙන ඕනෑම ලිපියක් පදනම් කරගෙන කොළඹ මහ නගර සභාවට එරෙහිවද නඩු මගට බැසීමට “මාතෘභූමී” සංවිධානය සූදානම්ය.

දේශපාලන බලය හමුවේ නීතිය නැවීමට උත්සාහ කළහොත්, එහි බරපතල විපාක විඳීමට සිදුවන්නේ ව්‍යාපෘති හිමිකරුවන්ට පමණක් නොව, ඒ සඳහා අත්සන් තබන නිලධාරීන්ට ද වන බව මෙයින් අවධාරණය කෙරේ.

Latest Posts

spot_imgspot_img