ගාල්ල:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය සහ එය ආරක්ෂා කිරීමේ වගකීම ජනමත විචාරණයකින් තොරව කිසිදු රජයකට වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් ගරුතර පැලවත්තේ චන්දිම නායක හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

බෞද්ධ පුනරුදයේ කේන්ද්‍රස්ථානය ගාල්ල
ගාල්ල දිස්ත්‍රික්කය බෞද්ධ පුනරුදයේ කේන්ද්‍රස්ථානය බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ නායකත්වයෙන් ඇරඹි එම ව්‍යාපාරයට ගිහි පැවිදි උතුමන් රැසක් උරදුන් බව පැවසීය. පානදුරාවාදය වැනි ඓතිහාසික සංවාද මෙන්ම ඕල්කට්තුමාගේ පැමිණීම හරහා මෙරට බුදුදහම නගාසිටුවීමට ගාලු දිසාවෙන් ලැබුණු නායකත්වය අතිමහත් බව ඔහු පෙන්වා දුන්නේය.
ව්‍යවස්ථාපිත ආරක්ෂාව සහ ඓතිහාසික පසුබිම
1815 ගිවිසුමේ සිට බ්‍රිතාන්‍ය පාලකයින් පවා බුදුදහම ආරක්ෂා කිරීමට බැඳී සිටි ආකාරය මෙහිදී පැහැදිලි කෙරිණි. 1972 සහ 1978 ව්‍යවස්ථාවන් මගින් බුදුදහමට විශේෂ ස්ථානයක් ලබා දුන් බවත්, එම වගන්ති ජනතා පරමාධිපත්‍යය හා බැඳී පවතින බැවින් ජනමත විචාරණයකින් තොරව ඒවාට අත තැබීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. “මෙම ව්‍යවස්ථාපිත එකඟතාවන් උල්ලංඝණය කිරීම රටේ උත්තරීතරභාවයට කරන හානියක්” බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කෘතිම බුද්ධිය (AI) සහ ධර්මය
නූතන තාක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) වැනි මෙවලම් භාවිතා කළ හැකි බවයි.
“මම Chatgpt හරහා ධම්මපදයේ පළමු ගාථාව යොදාගෙන ප්‍රශ්නයක් ඇහුවා මනසද උසස් කෘතිම බුද්ධියද කියලා. එහිදී Chatgpt පවා පිළිගත්තා මනස උසස් බවත් කෘතිම ඥානය සීමිත බවත්.”
ලෝකයේ බලවත් රටවල් AI තාක්ෂණය සඳහා විශාල මුදලක් වැය කරන පසුබිමක, ආගම සහ තාක්ෂණය අතර පවතින සම්බන්ධය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, පියසේන ගමගේ යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.







