Saturday, February 14, 2026
spot_img

Latest Posts

“නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් එල්ල වන බලපෑම්වලට එරෙහිව නීතිඥ සංගමය පෙරමුණට – ස්වාධීනත්වයට බාධා නොකරනු!”

නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කර ඇති විවේචන සහ බලපෑම් සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

අද (20) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් මෙරට නීතියේ ආධිපත්‍යයට බරපතළ හානි සිදුවිය හැකි බවයි.

නිවේදනයේ අඩංගු ප්‍රධාන කරුණු:
  • අර්ධ අධිකරණමය භූමිකාව:

නීතිපතිවරයා අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ‘අර්ධ අධිකරණමය’ (Quasi-judicial) භූමිකාවක් ඉටු කරන බවත්, සැකකරුවෙකුට එරෙහිව නඩු පැවරීම හෝ නොපැවරීම තීරණය කරනු ලබන්නේ පවතින සාක්ෂි සහ නීතිමය කරුණු මත පමණක් බවත් සංගමය පෙන්වා දෙයි.

  • ජනප්‍රියත්වය මත තීන්දු නොගැනීම:

අධිකරණ නිලධාරීන් සහ අර්ධ අධිකරණ නිලධාරීන් ගන්නා තීරණ සැමවිටම ‘ජනප්‍රිය මතය’ මත පදනම් නොවිය හැකි බවත්, ඒවා නීතියට අනුකූලව ගත යුතු තීරණ බවත් එහි සඳහන් වේ.

  • අධිකරණමය සමාලෝචනය:

නීතිපතිවරයාගේ තීරණ යමෙකුට අසාධාරණ යැයි හැඟේ නම්, ඒවා අභියාචනාධිකරණය හමුවේ රීට් ආඥා (Writ) මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කිරීමට නීතිමය ඉඩකඩ පවතින බව නීතිඥ සංගමය සිහිපත් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් උපුටා දක්වයි

1998 වසරේ වික්ටර් අයිවන් එදිරිව සරත් එන්. සිල්වා නඩු තීන්දුව උපුටා දක්වමින් නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, සෑම පුරවැසියෙකුටම සාධාරණ, දක්ෂ සහ කාලෝචිත විමර්ශනයකට අයිතියක් ඇති බවයි. පුද්ගල අයිතිවාසිකම් සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව එහි දැක්වේ.

රජයට කළ බලපෑම්

යම් කණ්ඩායම් තම පටු දේශපාලනික හෝ පක්ෂග්‍රාහී අරමුණු ඉටු කර ගැනීම සඳහා නීතිපතිවරයාට බලපෑම් කිරීම වහා නතර කළ යුතු බවත්, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට රජය සහ නීතිය බලාත්මක කරන ආයතන වහාම පියවර ගත යුතු බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

යුක්තියේ සහ නිදහසේ පරම මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා නීතිපතිවරයාගේ ස්වාධීනත්වය සැමවිටම සුරක්ෂිත විය යුතු බව පවසමින් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සහ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Latest Posts

spot_imgspot_img