හරි දේශය ගොසිප් කෝණරය: තුම්මුල්ලේ තට්ටු 40 ක කතාව
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) කියන්නේ කවදාවත් ‘සුද්ද කරන්න බැරි වංචනික ආයතනයක්’ කියලා සමහරු කියනවනේ! ඒත් අලුතින් වැඩ බාරගත්තු බිමල් රත්නායක ඇමතිතුමා, මේ තුම්මුල්ල ‘පෙන්ටාරා’ හෝම්ලෑන්ඩ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවෙච්ච ආන්දෝලනාත්මක සිදුවීම් දාමයෙන් පස්සේ, දැඩි පියවරක් අරගෙන.
බිමල් සහෝදරයාගේ පිහි ඇනුම
ආරංචි හැටියට, ඇමතිවරයා පත්කෙරුණාට පස්සේ කළ පළමු හොඳම දේ තමයි, මේ ව්‍යාපෘතියට ඉදිකිරීම් නියාමනයන් කඩකරමින් අවසර දීලා තිබුණ UDA එකේ සභාපතිවරයාව පුටුවෙන් ඉවත් කර දැමීම. (‘කුමුදු දැන් ඔය ඇති..ඔයා යන්න’)
ඒක අපි අගය කරන්නම ඕන වැඩක්! ඒ වෙනුවට, දැන් අමාත්‍යාංශ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරලා තියෙන්නේ, UDA එකේ හොර ගුහාව සුද්ද කිරීමේ ‘තියරිය‘ ඇමතිතුමාගේ ඔළුවේ තියෙන හින්දාමයි.
තට්ටු 40ක් නීති විරෝධී වෙන්නේ ඇයි?
දැන් මේ ‘පෙන්ටාරා’ සිද්ධිය මොකක්ද? සාමාන්‍ය නාගරික නියාමනයන් යටතේ අදාළ ප්‍රදේශයේ අනුමැතිය දිය හැක්කේ තට්ටු 5කට පමණක් නම්, තට්ටු 40ක් (සමහර වාර්තා වලට අනුව 43ක්) ඉදිකරන්න අවසර දෙන්නේ කොහොමද?
මේකෙ රහස මීටර් 40 සීමාව අදෘශ්‍යමානව පෙන්වීමයි. කොළඹ නගරයේ නීතිවලට අනුව, තට්ටු 40ක සීමාවට යාමට නම්, එම ඉදිකිරීමට අදාළ මාර්ගයේ පළල සහ මුහුණත වර්ගඵලය අනුව මීටර් 40ක පළලක් අවශ්‍යයි.
ඒත් මේ පෙන්ටාරා ව්‍යාපෘති ඉඩමට අදාළ මීටර් 40 සීමාව හිමි නැහැ! මීටර් 40 සීමාව නැති වුණාම, අල්ලපු කලාපයේ පාරවලුත් අල්ලලා දීලා, නීතිය නමලා, මාස දෙකෙන් වගේ කෙටි කලකින් මේ යෝධ ව්‍යාපෘතියට අනුමැතිය දීලා තියෙන්නේ දූෂණ වංචා නැතිව වෙන්න බැහැ කියලයි තතු දත් අයනම් කියන්නේ.
පදිංචිකරුවන්ගේ දුක්ගැනවිල්ල අහන්නෙ නැතිව ආණ්ඩුවකටත් වැඩ කරන්න බෑ. මේ නීති විරෝධී ඉදිකිරීම නිසා අල්ලපු නිවාසවල පදිංචිකරුවන්ගේ නිවාසවල ඉරිතැලීම් පවා ඇතිවෙලා. ඒ හින්දා තමයි මේ වෙද්දි නේවාසික පදිංචිකරුවන් ගණනාවක් අධිකරණයේ නඩු ගොනු කරලා තියෙන්නේ.
ව්‍යාපාරිකයා ජනාධිපති හමුවෙයි!
මෙච්චර දේවල් වෙද්දි, අපේ ගොසිප් කෝණරයට ලැබුණු උණුසුම්ම ආරංචිය තමයි මේ. හෝම්ලෑන්ඩ් අයිතිකරු නලින් මහත්තයා පහුගිය දවසක ජනාධිපති අනුර සහෝදරයාව හමුවෙන්න ගිහින්ලු!
ඔහු ගිහින් තියෙන්නේ තුම්මුල්ලේ ව්‍යාපෘතිය නවත්වන්න එපා කියන්නයි. ඒ වගේම ඒ කතාවට පාර කපල තියෙන්නෙ දේශීය ආයෝජකයින්ව දිරිමත් කරන්න ඕනේ, සංවර්ධන කටයුතු නතර කරන්න එපා වගේ කතාවක් ගෙනත් ලු.
ආරංචියේ හැටියට අනුර ජනාධිපතිතුමා සුපුරුදු පරිදි, මේක අධිකරණයේ නඩු විභාග වෙන හින්ද දැන්ම මොකුත් කරන්න බැරිය වගේ කතාවක් කියලා තියෙනවා ලු.
මොක උනත් අපේ දේශපාලකයො අතීතයේ හිටන්ම මැතිවරණවලට වියදම් කරන ව්‍යාපාරිකයො ඉස්සරහ දෙකට නැමෙනවලුනේ. ඒත් අනුර ජනාධිපති එහෙම කරයිද?
“බල්ලෝ එක්ක ලැග්ගම මැක්කෝ එක්කයි නැගිටින්න වෙන්නේ!”
හැබැයි, නලින් මහත්තයා ජනාධිපතිතුමාව හමුවෙලා ආවට පස්සේ කියන කතා නම් ටිකක් සැරයි! “මේ ආණ්ඩුවෙන් තමාට ඕනම දෙයක් කරගන්න පුළුවන්ය, ඡන්දෙට පුළුවන් තරම් සල්ලි දීලය තියෙන්නේ, ඒ හින්දා තට්ටු 40ක් නෙවෙයි තට්ටු 100ක් උනත් ගහන්න පුළුවන්ය” වගේ ‘ලොකු ටෝක්ස්‘ දෙනවලු!
මෙන්න මේක තමයි ප්‍රශ්නය. මේක සංවර්ධනයට හෝ දේශීය ආයෝජකයින්ට විරුද්ධ කතාවක් නෙවෙයි. රට්ටු කියන්නෙ නීතිය හරි විදිහට, විනිවිදභාවයෙන් කරන්න ඕනේ කියන එකයි. හොරට වැඩ පටන් ගත්තම වෙන්නේ, අනික් විදේශීය/දේශීය ආයෝජකයින්ගේ විශ්වාසය නැතිවී යාමයි.
අපිට ලැබෙන තොරතුරුවල හැටියට, මේ වගේ වේගයෙන් (මාස දෙකෙන්) වැඩක් අනුමත වෙද්දි, තට්ටු හතර පහේ ව්‍යාපෘති අවුරුදු ගණන් UDA එකේ දූවිලි කකා පරක්කු වෙන එක මේ දූෂණ ක්‍රියාවලියේ තරම පෙන්වනවා. තව ද, අමාත්‍යාංශය පැත්තෙන් චෝදනාවක් තියෙනවා: දේශීය කුඩා ආයෝජකයින්ගේ ඉදිකිරීම් නවත්වන්න මේ විශාල ව්‍යාපාරිකයා වැඩ කළා කියලා.
අවසාන ඉල්ලීම!
ජනාධිපතිතුමා, බිමල් ඇමතිතුමා මේ වෙද්දි ප්‍රශ්න හරියට විසඳන්න අත ගහලා ඉන්නේ. අතීතයේ හිටන්ම ව්‍යාපාරිකයෝ ඡන්දවලට සල්ලි දෙනවා තමයි. ඒත් ඒ ව්‍යාපාරිකයෝ කරේ තියාගෙන නම් මේ ගමන යන්න බැරි වෙයි.
බිමල් සහෝදරයා, මේ වගේ ආයෝජකයින්ගේ මුදල් වලට ඔබවවත් ඔබේ නිලධාරීන්වත් නමන්න දෙන්න එපා. ඔබේ දේශපාලන අනාගතයම මේ සිදුවීම් ජාලය එක්ක බැඳිලා තියෙනවා.
අපි දන්න අනුර සහෝදරයා නම්, ඔය වගේ කතා කියල නවාගන්න බෑ. ඒ නිසා කටකතා අහනවා වෙනුවට, ඉක්මනින්ම ව්‍යාපෘති වාර්තාව ගෙන්වගෙන ඉදිකිරීම් නියාමනයන් හරිද බලන්න. මේ ආණ්ඩුව ටෙන්ඩර් වගේ බොහෝ දේවල් සම්බන්ධයෙන් අවුල් හදාගෙන තියෙන වෙලාවක, තුම්මුල්ලේ පුද්ගලික ව්‍යාපාරිකයෙක්ගෙ සුපිරි නිවාස සංකීර්ණයක් හින්දා ‘කුණු තවරගන්න’ එපා!
අපි හොඳටම විමසිල්ලෙන් තමයි බලන් ඉන්නේ!

