Friday, December 19, 2025
spot_img

Latest Posts

නාගරික සංවර්ධනයේ ‘පුටු-කාමර සටන’ මෙන්න: ඇමති සහ නියෝජ්‍ය ඇමති කුලල් කයි! සේවකයින්ටත් රජ මඟුල්

හරි දේශය ගොසිප් කෝණරය


දේශයට සේවය කරන්නට පැමිණි රාජ්‍ය නායකයන් දෙදෙනෙකු, නිල පුටුවක් සහ කාමරයක් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) තුළ දරුණු පොර පිටියක් නිර්මාණය කර ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මේ ගැටුමට මුලපුරන්නේ වෙන කිසිවෙකුත් නොව, නව විෂයභාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතරම වීම මෙහි ඇති බරපතලම කාරණයයි.

මෙම ප්‍රවෘත්තියේ වැදගත්කම වන්නේ මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇතුලු නිළධාරීන් පිරිසක් විසින් කොළඹ අගනගරයේ ඉදිකිරීමට අනුමැතිය දුන් සුපිරි නිවාස සංකීර්ණයකට අදාළ බරපතල චෝදනා රාශියක් ඇතිවූ වකවානුවක වීමයි.

හෝම්ලෑන්ඩ් පෙන්ටාරා සුපිරි නිවාස සංකීර්ණය තුම්මුල්ලේ අනවසර කලාපයක කොටසක්ද යොදා ගනිමින් අනුමැතිය සකස්කර ඇති බවට චෝදනා එල්ලවී මේ වනවිට ඊට අදාළ විභාගයන් මෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයන් ද සිදුවෙමින් පවතින බව සැලය.

නියෝජ්‍ය ඇමතිගේ “කාමර දඩයම”

ගොසිප් කෝණරයට ලැබුණු රහස්‍ය තොරතුරු අනුව, අදාළ විෂයභාර නියෝජ්‍ය ඇමතිවරයා මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ නිල කාමරය සහ සුපිරි නිල අසුන තමන්ට අත්පත් කරගැනීමේ දරුණු සටනක නිරතවී තිබේ. මේ සඳහා ඔහු පසුගිය දින ගණනකදී සිට ඊයේ (27) උදෑසන දක්වාම අවස්ථා කිහිපයකදී උත්සාහ දරා ඇත.

තමන්ගේ ඉල්ලීම ඉටු කරගැනීම වෙනුවෙන් අදාළ නිලධාරීන් වෙත වාචිකව හොඳින් සහ නරකින් පවා අමතා ඇති අතර, නියෝජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයද මේ “කාමර දඩයමට” සක්‍රියව මැදිහත්වී ඇති බව UDA රහස්‍ය ආරංචි පවසයි.

කෙසේ නමුත් නිලධාරීන් සිට ඇත්තේ දැඩි අසීරුතාවක බව ද පැවසේ. නිසි ක්‍රමවේදයෙන් බැහැරව, හුදෙක් වාචික උපදෙස් මත අධිකාරියේ නිල කාමර සහ අසුන් පවරා දිය නොහැකි බැවින්, ඔවුන් මේ සම්බන්ධව ක්‍රියාත්මකවීමෙන් වැළකී නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇතැයි ද කියැවේ.

UDA සතුව සභාපතිවරයෙකු මෙතෙක් පත්කර නොමැති තත්වයක් යටතේ සභාපති නිල කාමරය හෝ නිල පුටුව අපට නම් කර තියාගෙන ගියා උවද කමක් නැත.

එහෙත් හිටපු සභාපතිවරයා එම පුටුවේ සිටිමින් සිදුකර ඇති අනීතික වැරදි නියාමනයන් සහිත ව ලබාදුන් ඉදිකිරීම් අනුමැතීන් ගැන නම් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමය.

එසේ නොවුනොත් දූෂණ වංචා සොයන්නට, දඩුවම් පමුණුවන්නට, පැමිණී ආණ්ඩුව පුටු මේස කාමර සමග ඔට්ටු වී  පඹ ගාලක පැටලෙනු නොඅනුමානය.

ඇමතිවරයාගේ පිරිසගේ “අණ”

දැන් ආයෙත් අපේ අදාල කාමර පුටු කතාවට එමු..

එසේ නිලධාරීන් අවුලක සිටියදී, ඊයේ පෙරවරුවේ සිදුවූයේ නාටකයේ දෙවන කොටසයි!

විෂයභාර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ බව කියූ පිරිසක් සභාපති නිල කාමරය වෙත පැමිණ, වහාම අදාළ කාමරය ඇමතිවරයා වෙනුවෙන් සූදානම් කර තබන ලෙසට නිලධාරීන්ට තදින් අණ කර තිබේ.

මෙහිදී නිලධාරීන් කියා ඇත්තේ, “අදාළ කාමරය නියෝජ්‍ය ඇමතිවරයාත් ඉල්ලා ඇති බව” යි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලය දැඩිව පවසා ඇත්තේ, “නියෝජ්‍ය ඇමතිවරයාට නොව, ඇමතිවරයා වෙනුවෙන් අදාළ නිල කාමරය සූදානම් කර තබන ලෙසට ඇමතිවරයා දැනුම්දී ඇති බැවින්, ඇමතිවරයාගේ නියෝගය වහාම ඉටු කරන ලෙස” යි.

සේවකයින්ගේ වින්දන විවේකය

ආණ්ඩුවේම ඉහළ පාර්ශ්වයන් අතර මතුව ඇති මෙම “කාමර – පුටු ගැටුම” මේ වන විට අධිකාරියේ සේවක පිරිස දැඩි පීඩාවටත්, අපහසුතාවටත් පත්කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඔවුන් සිය පීඩනය සමනය කර ගනිමින් සිටින්නේ, ” කාමර පුටු වලට මරාගන්නේ රටට සේවය කරන්නනේ, කොහොමද අපිට මේ අය මඟහැරුණේ ” වැනි උපහාසාත්මක වදන් මුමුණමිනි.

මතක ඇති දිනයක UDA ඉතිහාසයේ ඇමති, නියෝජ්‍ය ඇමති සහ ඉහළ පෙළේ දේශපාලන පත්වීම් ලබන අය අතර මෙවැනි අශෝභන කුලල්කා ගැනීමක් සිදුව නැති බවද, මෙම තත්ත්වය අධිකාරියේ ගෞරවයට හානි කරන බවද සේවක පිරිස් පවසති.

මේ වැනි නාටකයන් රඟ දැක්වෙද්දී බිමල් රත්නායක ඇමතිතුමාට ගොසිප් කෝණරයෙන් නම් කියන්නේ මෙච්චරය, ඔය UDA  කියන්නේ රටේ ඇති නොම්මර එකේ හොර ගුහාවක්ය කියලා නොනිල වශයෙන් රටම දන්නා කාරණයක්ය. දැන් කට්ටියටම අවශ්‍ය සැර ඇමතිතුමා ඒවා ගැන හොයා බලා පියවර ගැනීම වලක්වන්නට කකුලෙන් ඇදීමය..ඔය නියෝජ්‍ය ඇමතිතුමාටත් ආධුනිකකම නිසා බදාගන්න යන මේස පුටු තරඟය පැත්තකට දමා බිමල් ඇමතිතුමා එක්ක එකතුවෙලා අධිකාරියේ පැටිකිරිය හොයා බලන එක වටින්නේ ය. ඇමතිතුමෝ කළ යුත්තේ සභාපතිගේ කාමරය නොව ඒ කාමරයේදී සභාපතිවරයා කළ කී දෑ හොයා බලන එකය.

නැත්නම් තව නාටක කීයක් කරයිද කව්දෑ දන්නේ?

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.

ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..

Email – [email protected]
WhatsApp – +94771474028

Latest Posts

spot_imgspot_img