ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා විසින් රචිත මෙම ලිපිය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ගම්පොල, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට අයත් රජයේ ඉඩම් හා දේපළ, හිටපු අගමැතිවරයෙකුගේ පවුලේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම පිටුපස ඇති නීතිමය හා ආයතනික අක්‍රමිකතා පිළිබඳවය. එහිදී, අම්බුළුවාවේ අනීතික ලෙස ආරම්භ කරන ලද "කේබල් කාර්" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උඩපළාත ප්‍රාදේශීය ලේකම් ගත් ක්‍රියාමාර්ගය අභියාචනාධිකරණය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් කතුවරයා සිය දැඩි විවේචනය එල්ල කරයි.
මෙම නඩුවේදී රජයේ දේපළ ආරක්ෂා කිරීමේ නිල වගකීම ඇති නීතිපති දෙපාර්තමේන්තුව සත්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් නොකර, කේබල් කාර් සමාගම විසින් කරන ලද නොමඟ යැවීම නිශේධ කිරීමට ක්‍රියා නොකිරීම "බරපතල නොහොබිනා" ක්‍රියාවක් ලෙස ලිපිය හඳුන්වයි.
කතුවරයා චෝදනා කරන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් රජයට ලැබිය යුතු කෝටි ප්‍රකෝටි ගණනක ආදායම තවදුරටත් එම පවුලට හිමි වන බවයි. අම්බුළුවාව භූමිය රජයේ මුදලින් පවරා ගත් ඉඩමක් වන අතර, එහි සියලු ඉදිකිරීම් සිදු කර ඇත්තේ රජයේ වියදමෙනි. එසේ තිබියදී, හිටපු අගමැති ඩී.එම්. ජයරත්න මහතා විසින් පෞද්ගලික පනතක් මඟින් සංස්ථාගත කර, තමාගෙන් පසු පුත්‍රයාට සභාපතිත්වය හිමිවන පරිදි සකස් කරගත් අරමුදලක් මඟින්, එම පුත්‍රයාගේ මාමාට අයත් සමාගමකට (කේබල් කාර් සමාගමට) ඉඩම් බදු දීම නීති විරෝධී බවත්, එය පවුලේ පෞද්ගලික ධනෝපාදන ක්‍රියාවලියක් බවත් ලිපියෙන් අවධාරණය කරයි. එම නිසා, ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් වහාම මැදිහත් වී දීමනා පත්‍රයකින් පවරා ඇති ඉඩම රජයට නැවත පවරාගෙන, අදාළ පනත අහෝසි කර, දේපළ නිසි ආදායම් ලැබෙන පරිදි ප්‍රසිද්ධ ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ පාලනයට පවරා දිය යුතු බවට කතුවරයා දැඩිව ඉල්ලා සිටියි.

නීතිපති දෙපාර්තමේන්තුවේ “බරපතල නොහොබිනා” කමෙන්.!
- – මාධ්‍යවේදී පෝද්දල ජයන්ත විසිනි.
- අම්බුළුවාවට “අභියාචනාධිකරණය” දුන් තීන්දුව අධිකරණ ඉතිහාසයේ “කළු” පැල්ලමක්.!
- නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නේ කෝටි , ප්‍රකෝටි ගණනක රජයේ දේපළ අනීතික භූක්තියට එරෙහිව ද ? පක්ෂව
- අභියාචනාධිකරණය නොමග යැවීමට “කේබල් කාර් පෙත්සම්කරු” ඉදිරිපත් කළ වැරදි තොරතුරු නිශේධ කිරීමේ පිටු 400 ක පමණ සත්‍ය ලේඛන ඉදිරිපත් නොකොට , නීතිපති දෙපාර්තමේන්තුව යටගසා වසන් කළේ ඇයි?
- විගණකාධිපතිට අනුව වර්ෂ 2011 සිට මේ දක්වා රජයට අහිමිකර ඇති රුපියල් කෝටි , ප්‍රකෝටි ගණනක මුදල් සම්භාරය තවදුරටත් රජයට අහිමිකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව එකගද?

රජයේ දේපළක් තම අභිමතය අනුව බදු දීමට, අනිසි පරිහරණයට අනුරාධ ජයරත්නට ඇති බලය කාගේ ද.?
මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල “අම්බුළුවාව” ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටා ඇති ඉඩමේ අනීතිකව ආරම්භ කර තිබෙන “කේබල් කාර්” ව්‍යපෘතිය නිසා දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකරමින් තිබුණි. ඒ සම්බන්ධයෙන් උඩපළාත ප්‍රාදේශීය ලේකම් විසින් විශේෂ කාර්ය බලකාය සමග එහි ගොස් ඩෝසර් ,බැකෝ යන්ත්‍ර සූත්‍රද අත්අඩංගුවට ගෙන අදාළ කටයුතු අත්හිටුවීමට ක්‍රියා කළා ය. ඊට එරෙහිව එම “කේබල් කාර් සමාගම” අභියාචනාධිකරණය වෙත ගොස් ප්‍රාදේශීය ලේකම්ගේ මැදිහත්වීම නතර කිරීමට අධිකරණය නොමග යවන සුළු අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගත්තේ ය.
එම වාරණ නියෝගය ඉවත්කරවා ගැනීමේ නිල වගකීම ඇත්තේ (රජයේ දේපළක් බැවින්) නීතිපති දෙපාර්තමේන්තුවට ය. ඒ අනුව ඔවුන් අභිචනාධිකරණයට ගියද , කේබල් කාර් සමාගම අධිකරණයට සත්‍ය කරුණු වසන්කර කළ නොමග හැරීම අවලංගුවන අයුරින් ක්‍රියාකර නැත . එහෙයින්, අභියාචනාධිකරණය පසුගිය 07 දා නැවත පළමුව දුන් අතුරු නියෝගය ස්ථීර කර තිබේ. ඒ අනුව රජයේ ඉඩම්වල “නිල අයිතිය” ඇති ප්‍රාදේශීය ලේකම්ට එකී විනාශයන් සම්බන්ධව මින් ඉදිරියට ක්‍රියා කළ නොහැක. එපමණක් නොව ප්‍රාදේශීය ලේකම්ගේ මැදිහත්වීමට එරෙහිව ඇයගේ පෞද්ගලික වියදමින් පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙස ද නියෝගකර තිබේ.

කාලාවරෝධයට අනුව මසක කාලයක් ඇතුළත මේ නියෝගයට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. එහෙත් අභියාචනාධිකරණ රීට් ආඥා විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබෙන “නොහොබිනා” ක්‍රියා විලාශය අනුව නිසියාකාරව එවැනි අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇතැයි ද විශ්වාසය කළ නොහැක.
නාමික අභියාචනයකින් පලක් නැත.!
නාමිකව එවැනි අභියාචනයක් ඉදිරිපත්කර , පෙරසේ ක්‍රියා කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ලැබෙන්නේ අභියාචනාධිකරණ තීන්දුවම බව පසක් කරගත යුතු ය . එසේවුවහොත් රජය සතු කෝටි ප්‍රකෝටි ගණනක දේපළ සහ වාර්ෂිකව රජයට ලැබිය යුතු කෝටි , ප්‍රකෝටි ගණනක දේපළක් ඉහත ජයරත්න පවුලේ සහ එම පවුලේම ළගම ඥාතීන්ගේ පරිහරණයට තවදුරටත් සවිවනු නොඅනුමාන ය.
අම්බුළුවාවේ අතීත කතන්දරය මෙසේ ය

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පාලනය කරනූ ලබන්නේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න (හිටපු අගමැති සහ ඇමති දී.මූ. ජයරන්න පුත්‍ර) සභාපතිත්වය දරන “අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල” මගිනි. මේ අරමුදල දී. මූ , ජයරත්න කෘෂිකර්ම ඇමති ධුරය දරන සමයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මගින් 2009 අංක 44 දරන පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත කිරීමක් (Incoparate) සිදුකරගෙන තිබේ.
ඉහත අරමුදලේ පළමු සභාපති ලෙස දී. මූ. ජයරත්න එම පනතට ඇතුළත් කරගෙන ඇති හාස්‍යජනක වගන්තියක් මගින් තමාගෙන් පසු එහි සභාපති අනුප්‍රාප්තිකයා සිය පොල්මඃ කරු ලෙස තම පුත්‍රයාවන (ලංකා ජයරත්න) නම්කර තිබේ. ඔහුගෙන් පසුවත් ඔහුගේ පොල්මඃ කරුවන්ටද එකී හිමිකම ලැබෙනු ඇත. හැන්ද අතේ ඇතිකළ පිගාන පිරෙන්නම දී. මූ. ජයරත්න යහමින් බෙදා ගෙන තිබේ. එකී බෙදා ගැනීම බරපතල වරදක් වන්නේ, මේ දේපළ මුළුමණින්ම රජය සතු දේපළක්වන බැවිනි. දේපළ පිහිටා ඇති හෙක්ටයාර් 210 ක භූමි භාගය රජයේ වියදමින් පෞද්ගලික ඉඩම් හිමියන්ට වන්දි ගෙවා “ගම්පුළුල් කිරීම” පිණිස සහ “වනජීවී දෙපාර්තමේන්තුව” වෙනුවෙන් රජයට පවරා ගෙන ඇති ඉඩම්වීම නිසාය.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග දීමනා පත්‍රයකින් මහාභාරකාරයාට පවරා එය දී.මූගේ අරමුදලට ලබාදීම.!
එපමණක් නොව , එකී ඉඩම් පවරා ගැනීමෙන් පසු දැනට විදහා දැක්වෙන චෛත්‍යය ස්ථම්භය ඇතුළු සියලු ඉදිකිරීම් , මාර්ග පද්ධති ඇතුළු සියලු දේපළ ඉදිකර ඇත්තේ රජයේ වියදමිනි. ඉහත පවරාගත් ඉඩම් තමන්ගේ පදනමට සෘජුවම ලබාදෙන ලෙස චන්ද්‍රිකා ජනාධිපතිනිය ගෙන් දී.මූ ජයරත්න ඉල්ලා සිටි විට ඇය එම ඉල්ලීම ඉටුකර ඇත්තේ වක්‍රකාරයෙනි. එනම් එහි හෙක්ටයාර් 112 ක ප්‍රමාණයක් දීමනා පත්‍රයක් මගින් මහාභාරකාරයා වෙත පවරා අනතුරුව දී. මූ. ගේ අරමුදලේ කටයුතුවලට ඇදා ගැනීමට ඉඩ දෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න සභාපතිත්වය දරන පදනම මෙහි ඉඩම් බදු දෙන්නේ කවර නීතියක් යටතේ ද?
ඉහත අභියාචනාධිකරණ වාරණ නියෝගය ස්ථීර කරගෙන ඇත්තේ කේබල් කාර් ව්‍යාපෘති සිදුකරන සමාගම විසිනි. එම සමාගමට ඉහත කේබල් කාර් ව්‍යාපෘතියට විශාල ඉඩම් ප්‍රමාණයක් බදුදී ඇත්තේ පෙර සදහන් ලංකා ජයරත්න සභාපතිත්වය දරන “අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ අරමුදල” විසිනි. එහෙත් ඉඩමේ අයිතිය ජනාධිපතිවරිය විසින් “දීමනා පත්‍රයකින්” පවරා ඇත්තේ මහාභාරකාරයා වෙත ය. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න අනුන්ගේ ඉඩම් මෙලෙස බදුදී ඇත්තේ කවරනම් බලපුළුවන්කාරකමක් මතද ? කවර නීතියකට අනුව ද?
කේබල් කාර් සමාගම කාගේද?එහි අධ්‍යක්ෂවරු කව්රුන් ද?
ඉහත කේබල් කාර් සමාගමේ අයිතිකරු වන්නේ මන්ත්‍රී ලංකා ජයරත්නගේ බිරියගේ පියාය. එනම් අනුරාධ ජයරත්නගේ මාමාය. එම සමාගේ අධ්‍යක්ෂවරු ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ය. එය අධිකරණයට ප්‍රකාශකර ඇති අයුරින් විදේශීය සමාගමක් නොවේ. එසේ නම් තම පියා ගම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට යැයි රජය හරහා රජයේ මුදලින් වන්දි ගෙවා පවරාගත් ඉඩම් හෙක්ටයාර් 112 ක් සහ රජයේ වියදමින් කරන ඉදිකිරීම් පරිහරණය කරන්නේ පොදු අවශ්‍යතා සදහා නොව , තම පවුලේ පෞද්ගලික ධනෝපාදන ක්‍රියාවලියක් උදෙසා ය.
වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිත දැනට ප්‍රාදේශීය ලේකම් භාරයේ ඇති කෑලෑ හෙක්ටයාර් 98 ත් ජයරත්නලාගේ පෞද්ගලික පරිහරණයට ද.?
මෙකී ජෛව විවිධත්ව සංකීර්ණ භූමියේ ඇති මැන වෙන්කර නැති හෙක්ටයාර් 98 ක ඉඩම් ප්‍රමාණය මැන වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදීම සදහා ප්‍රාදේශීය ලේකම්වරිය මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට මැනුම් නියෝගයක් නිකුත් කර දැන් කාලයක් ගතවී ඇත. ඊට අවශ්‍ය රුපියල් ලක්ෂ 08 ක මුදලක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට ගෙවා ඇති අතර තවත් රුපියල් ලක්ෂ 04 ක් අවශ්‍ය බව දන්වා එවා තිබේ. එම හිග මුදල වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ගෙවා නැතත් , වනජීවී හෙක්ටයාර් 98 මැනීම සදහා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව එකගභවී. මේ අක්කර 98 ඉතා ඉක්මණින් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන්කර ගැසට් නොකළොත් එම ඉඩම හෙක්ටයාර් 98 ද අනුරාධ ජයරත්නලාගේ අරමුදල සහ කේබල් කාර් සමාගමේ ග්‍රහණයට නතුකර ගනු ඇත.
W – 15 හෝටලයට ගොවි සෙවණ සම්මන්ත්‍රණ ශාලාව බදුදී ඇත්තේත් අනුරාධ ජයරත්නලාගේ අරමුදල විසිනි.!
ඉහත භූමිය තුළ රජයේ විවිධ ආයතන විශාල ලෙස වැය බරක් දරමින් ඉදිකිරීම් සිදුකර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එහි ඉදිකර තිබෙන “ගොවි සෙවණ” සම්මන්ත්‍රණ ශාලාවද මේ වනවිට W – 15 හෝටලයට බදු දී තිබේ. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකර ඇති වැවේ සංචාරකයන්ට බෝට්ටු සවාරි ලබාදීම සිදු කරයි. මේ කිසිවකින් රජයට තඹ දොයිතුවක ආදායමක් නොලැබේ. ජයරත්නලාගේ අරමුදල ආගමික මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි කර ඇති නිසා අඩුම වශයෙන් නගර සභාවට ගෙවිය යුතු විනෝද බද්දවත් මෙතුවක් ගෙවා නැත.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුවන අකටයුතු පිළිබඳව තවත් මෙවැනි ලිපි ගණනාවක් ලිවීමට ලියුම්කරු සතුව තොරතුරු රැසක් පවතී. එහෙත් මේ ලිපිය තවත් දීර්ඝ කිරීම නොකරමි. අවසන් වශයෙන් අදාළ බලධාරීන්ට අවධාරණය කළ යුත්තේ ඉහත රජයේ දේපළත් , එහි අනගිභවනීය පරිසර පද්ධතියත් රැක ගනිමින් එමගින් රටට ලැබිය යුතු ආදායමත් ලැබීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වහා ගතයුතුය යන්නයි.
ආණ්ඩුවේ වගකීම කුමක් ද?
රජයේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් විසින් දැනටමත් නිර්දේශ කර ඇති පරිදි මහාභාරකාරයාට දීමනා පත්‍රයකින් පවරා ඇති ඉඩම රජයට පවරාගත යුතු ය. එය කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. තමන්ගේ පවුලේ බූලයක් ලෙස ජයරත්නලාගේ භුක්තියට සවිකරගෙන තිබෙන පාර්ලිමේන්තුවේ සංස්ථා ගතකර ඇති පනතද අහෝසි කළ යුතු ය. එමෙන්ම දැනට දෛනිකව උපයන ආදායම් සැළකිල්ලට ගෙන රජයට නිසි ආදායම් ලැබෙන අයුරින් ප්‍රසිද්ධ ටෙන්ඩර් පටිපාටියකට අනුව පුර්ණ කොන්දේසි සහිතව පෞද්ගලික අංශයට හෝ ලබාදී පාලනය කිරීමට පියවර ගත යුතු ය.
රටේ මහජන බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වැයකර ඇති මේ රජයේ දේපළ එක් පවුලක පෞද්ගලික පරිහරණයට ලබාදී බලා සිටීම රජයක වගකීමක් නොවන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.
(පෝද්දල ජයන්ත fb page)

