Friday, December 19, 2025
spot_img

Latest Posts

විදේශ සංචාරවල රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට පැවති නඩු නිමිත්ත අනුරටත්?

රාජ්‍ය නායකයන් සිය නිල සංචාර අතරතුර රාජ්‍ය අරමුදල් පෞද්ගලික හෝ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ විවාදය නැවත වරක් කරළියට පැමිණ තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෑතකදී එල්ල වූ චෝදනාවක් මත අත්අඩංගුවට පත්වීමට සිදුවූයේ ද නිල සංචාර අතරතුර පෞද්ගලික අරමුණු සඳහා රාජ්‍ය අරමුදල් භාවිත කිරීම සම්බන්ධයෙනි. මේ පසුබිම තුළ, වත්මන් ජනාධිපති අ.ක. දිසානායක මහතාගේ මෑත කාලීන ජර්මානු සංචාරය දෙසට විචාරක අවධානය යොමු වී ඇත්තේ, එහි දින දෙකක් නිල නොවන කටයුතු සඳහා යොදාගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පැවති “නඩු නිමිත්තම” උද්ගත වී ඇති බවට චෝදනා එල්ල වීම නිසාය.

ජපානය: රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛතාව තහවුරු කරයි


ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2025 සැප්තැම්බර් 22 දින නිකුත් කරන ලද නිල නිවේදනය අනුව, ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය පැහැදිලිවම ඉහළම මට්ටමේ නිල සංචාරයක් ලෙස සලකුණු වී ඇත. මෙමගින් ජපාන අධිරාජ්‍යයා හමුවීම සහ අග්‍රාමාත්‍ය ඉෂිබා ෂිගේරු මහතා සමඟ සමුළු මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් තහවුරු විය. රාජ්‍ය නායකයෙකු විදේශගත වන විට ලැබිය යුතු ඉහළම ගෞරවය මෙම සංචාරයේදී හිමි වී ඇති අතර, එය දෙරට අතර සබඳතාවේ ශක්තිමත්භාවය පෙන්නුම් කරයි.


ජර්මනිය: ‘වැඩ සංචාරයක්’ සහ නිල පිළිගැනීමේ සත්‍යය

කෙසේ වෙතත්, 2025 ජුනි 11 සිට 13 දක්වා පැවති ජනාධිපති දිසානායක මහතාගේ ජර්මානු සංචාරය සම්බන්ධයෙන් මතුව ඇත්තේ වෙනස්ම චිත්‍රයකි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වාර්තාවල සඳහන් වන්නේ, ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මයර් මහතාගේ ආරාධනයෙන් ගොස් ඇති බවත්, ඔහු ගෞරවාචාර සහිතව පිළිගත් බවත්ය. මෙම කරුණු සත්‍ය වුවද, විචාරකයින් විසින් මතු කරන ලද කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතුය.

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායට අනුව, රටක විධායක ප්‍රධානියා වන්නේ චාන්සලර්වරයා ය. ජනාධිපතිවරයා රට නියෝජනය කරන්නේ සංකේතාත්මකවය. ජනාධිපතිවරයා චාන්සලර්වරයා හමු නොවී, ජර්මානු ජනාධිපතිවරයා සහ ඇමතිවරුන් දෙදෙනෙකු පමණක් හමුවීම මෙම සංචාරය දෙවන මට්ටමේ හෙවත් ‘වැඩ සංචාරයක්’ (Working Visit) බවට පත් කරන බවට විචාරක මත පළ වේ. එසේම, ජර්මනියේ නිල නිවේදනවල “පළමු වරට පැමිණීම” වැනි සටහන් දක්නට නොතිබීම, මෙම සංචාරය උසස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමක් නොපෙන්වන බවට වූ තර්කය තහවුරු කරයි.

සුභාෂිනී විෆ්ලර්ගේ විචාරය


ජර්මනියේ පදිංචි සුභාෂිනී විෆ්ලර් මහත්මිය විසින් සිය මුහුණු පොතේ පළ කරන ලද ලිපිය මගින් මෙම සංචාරයේ ස්වභාවය පිළිබඳව ගැඹුරු විචාරයක් ඉදිරිපත් කර ඇත. ඇයගේ සම්පූර්ණ ලිපිය පහත පරිදි උපුටා දක්වමු:


ජර්මනිය හා ශ්‍රී ලංකා ජනාධිපතිගේ රාජ්‍යතාන්ත්‍රික පැමිණීම..


මේ ගැන බොහෝ දේවල් අසමින් එන ඉන්බොක්ස් පණිවිඩ සංඛ්‍යාවට පිළිතුරක් ලෙස මේ සටහන ලියමි.
2025 වසරේ ජුනි මස 11 දින 13 දින දක්වා ශ්‍රී ලංකා ජනාධිපති වරයා ජර්මනියේ සංචාරයක නිරත විය. 9 හෝ 10 දින ඔහුව ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් හා ජනාධිපති වරයාට හිතවත් කිහිප දෙනක් විසිනි. ඔහුව කැඳවාගෙන යනු ලැබුවේ තානාපති කාර්යාලයේ වාහනයෙනි. එවැනි පිළිගැනීමක් සිදුවන විට අපට හැඟී යන පළමු කරුණ මේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය අප විසින් ඉල්ලා ලබා ගන්නා ලද එකක් බවයි. එවැන්නක් කරගැනීමට ජර්මනියේ සිටින පිරිසට හැකිය. ඒ ෆෙඩරල් ජනාධිපතිවරයා ඊට පෙර විදේශ ඇමති ලෙස ලංකාවේ කටයුතු වලට මැදිහත් වූ අයකු නිසාය.
දෙවනුවට එතුමා ජර්මනියේ පෙඩරල් ජනාධිපති විසින් නිල වශයෙන් පිළිගත් අතර පිළිගැනීම හෝ ජායාරුප ගැන සඳහන් කරන කෙටි සටහනක් එතුමාගේ දිනපොතේ සටහන් ව ඇත. ජායාරූපයක් සටහන් ව ඇත. එතුමාගේ ෆේස්බුක් පිටුවේ එදා ජායාරුපයන් පලවී තිබුණි.
දිව්පාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීම හා ආර්ථික කටුයතු ගැන සටහන් ව තිබේ. එහෙත් ඕනෑම රාජ්‍ය නායකයකු නිල වශයෙන් පැමිණිවිට සඳහන් කරන “පළමුවර ට පැමිණීම” වැනි සටහනක් ජර්මනියේ කිසිදු මාධ්‍යයක හෝ නිල ආයතනයක පලවී නැත. චාන්සලර් වරයා හමු නොවූ අතර විදේශ ඇමති හා සංවර්ධන ය ගැන වැඩ ඇමති වරුන් දෙදෙනක් හමු වී තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික කරුණු වලදී අප වටහා ගත යුතු කරුණු ඇත. එනම් රටක විධායක ය හමුවන්නේ ඒ රටේ විධායකය ය, ජර්මනියේ චාරිත්‍ර අනුව පෙඩරල් ජනාධිපති වරයා රට නියෝජනය කරන්නේ සංකේතාත්මක ව විදේශිකවය. චාන්සලර් වරයා රට නියෝජනය කරයි.
ශ්‍රී ලංකාවේ සිරිමා බණ්ඩාරනායක 1974දීත් මෛතිපාල සිරිසේන 2016 දීත් එවැනි නිල සංචාර වලට ජර්මනියේ සහභාගී වී තිබේ. එනම් විධායකය විධායකය හමු වීමයි. එනයින් අනුරගේ සංචාරය එවැනි මට්ටමේ එකක් නොව දෙවන මට්ටමේ හෙවත් වැඩ කාර්ය වෙනුවෙන් කරන ලද පැමිණීමක් ලෙස සැලකිය හැකිය. මෙවැනි පැමිණීම හඳුන්වන්නේ Working Visit / Lower-Level Visit වශයෙනි. කෙසේ නමුත් ඒ සංචාරයට නිල වශයෙන් අවධානයක් දී තිබුණේ නැත. මේ සමග අමුණන ජපාන සංචාරය නිල එකක් වන අතර රාජ්‍ය තාන්ත්‍රික ලෙස එහි ඔහුගේ පැමිණීම සටහන් කර තිබේ. ඊට සාපේක්ෂව පෙඩරල් ජනාධිපතිවරයාගේ සටහන “හමුවීම” සටහන් කිරීමක් පමණක් බවක් හැඟේ.
මේ සටහනේ දෙවෙනි පින්තුරය තුල ජර්මනියේ නිල තොරතුරු ලබා දීමේ කාර්යාංශය ම අනුරගේ සංචාරය ගැන නිල තොරතුරු නැති බව දන්වයි. ඒ අනුව අපිට ජර්මනිය විසින් කකුලක් පිටුපසට ගෙන සලකා තිබීම සැලකිය හැකිය. අනෙක් අතට ලංකාවේ මාධ්‍ය වල ලියා ඇති අතිශයෝක්තිය වටහා ගැනීමට එය වැදගත් වේ. කෙසේ නමුත් මේ සංචාරය අර්ධ නිල හෙවත් දින කිහිපයක පෞද්ගලික අරමුණු පැවති සංචාරයක් බව සටහන් කිරීම වටි.
මේ සංචාරය අතරතුර එක දිනක් ජනාධිපති වරයා කිසිම නිල කාර්‍යක් නොකර පෞද්ගලිකව ගත කර තිබේ. එක දිනක් තම පාක්ෂිකයන් හමු වී තිබේ. නිල සංචාරයක් අතරතුර සාමාන්යෙන් ලැබෙන්නේ ඉතා සමීප කාල සටහනකි. එහිදී මෙම සංචාරයේදී ජනාධිපතිවරයා හා විදේශ ඇමති වරයා එක දිනක් කල දේ සම්පුර්ණම අපැහැදිලි නිසා එදින ට වැයවූ රාජ්‍ය මුදල් මුදල් අවබාවිතාවකි. අනෙක් අතින් තම තෝරාගත් පාක්ෂිකයන් හිතවතුන් පමණක් මුණ ගැසීම නිසා එදිනද රාජ්‍ය මුදල් අවබාවිතා කර තිබේ. ඔහුට කණ්ඩායමට රාජ්‍ය මුදල් බාවිතා කල හැක්කේ නිලවශයෙන් පෙඩරල් ජනාධිපති හමු වූ දින, ඇමති වරුන් දෙදෙනා හමුවූ දින යන දින දෙකට පමණි.
ඒ අනුව අනුර දිසානායක මහතා ගේ ජර්මන් සංචාරය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට වඩා වැඩ සංචාරයක් වී ඇති අතර ජර්මනිය විසින් ඔහුට ආරධනා කල බවට කිසිම නිල ලියවිල්ලක් නොමැති අසාමාන්‍ය ගතිගුණ පෙන්වයි. එය සමාන වන්නේ එකවරක් කෙන්යා අගමැති වරයා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට පැමිණි වැඩ සංචාරයට පමණි.
මේ කරුණු වලින් මට කීමට අවශ්‍යව තිබුණේ දින ගණනක නිල සංචාරයක් වැඩ සංචාරයක් වූ අතර එයින් දින දෙකක් පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බවය. සමස්ත සංචාරයම නිල සංචාරයක් වීමට නම් ලංකාව පැත්තෙන් ජනගත විය යුත්තේ ජර්මනියේ විදේශ කටයුතු අමාත්යංශය විසින් එවන ලද ආරාධනාවය. එය නොමැතිව අනුර ගේ ජර්මන් සංචාරය අවශ්‍යතාව මත ඉල්ලා ගත් එකක් බව පැහැදිලිය. තවද අදාළ අමත්‍යංශ මගින් කරන ලද ඉල්ලීම්ය. නැතහොත් අපගේ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීම්ය හා පිළිගැනීම් ය. මේ කිසිවක් දැනට ශ්‍රී ලංකාව පැත්තෙන් එලි දක්වා නැති අතර ජර්මනිය ඒ ගැන කිසිදු නිල තොරතුරක් නැති බව පවසයි.
මේ සංචාරයේදී ජනාධිපතිවරයා ට හමුවීම් වලදී තේ පැන් සංග්‍රහ හෝ දීර්ඝ සාකච්චා ඇමති වරුන් සමග පැවති බවට සාධක නැත. ඕනෑම අයකුට වෙන් කරන විනාඩි 15 හෝ 30 යන්න ජායාරූප වලින් පෙනේ.
මේ කරුණ මිට පෙරද ලියා ඇතත් ඊයේ දින රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුවෙන් පසුව කරන විමසීම් වැඩි නිසා පොදුවේ ලිපියක් ලෙස ලියා පළ කරමි. සාපේක්ෂව අනුරගේ නිල සංචාරය හෝ වැඩ සංචාරය තුල දින දෙකක් පෞද්ගලික වැඩ සඳහා යොදාගැනීම සැබවින්ම රනිල් ට පවරා ඇති නඩු නිමිත්තම අනුරට ද උද්ගතව ඇති බවට සමාන සිද්ධි රූපනයක් මෙහි තිබේ. (සුභාෂිනී විෆ්ලර් ජර්මනියේ සිට)


විචාරාත්මක නිගමනය සහ ඉදිරි අභියෝගය


ජපාන සංචාරය මගින් ශ්‍රී ලංකාවට හිමි වන ඉහළ රාජ්‍යතාන්ත්‍රික ගෞරවය තහවුරු කළ ද, ජර්මානු සංචාරය සම්බන්ධයෙන් සුභාෂිනී විෆ්ලර් මහත්මිය විසින් මතු කරන ලද කරුණු සහ රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් පිළිබඳ නිරීක්ෂණ බැහැර කළ නොහැක. රාජ්‍ය නායකයෙකු විසින් පෞද්ගලික හෝ පක්ෂ අරමුණු සඳහා නිල සංචාරවල දී රාජ්‍ය මුදල් වැය කිරීම යනු, හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වීමට හේතු වූ බරපතල විනය ප්‍රශ්නයකි. වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය විනිවිදභාවය සහ යහපාලනය පෙරදැරි කරගෙන ඇති බැවින්, මෙම චෝදනාවලට අදාළව ජනතා මුදල් වැය කළ ආකාරය පිළිබඳව නිල පැහැදිලි කිරීමක් නිකුත් කිරීම ඔහුට පැවරෙන වැදගත් වගකීමක් වනු ඇත.

Latest Posts

spot_imgspot_img