Friday, December 19, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ජවිපයේ දේශපාලනය පරාජය වීම


පෞද්ගලීකරණයේ නොවැළැක්විය හැකි යථාර්ථය


2025 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වාර්තා කරන ලද රුපියල් බිලියන 2.73 ක ශුද්ධ අලාභය, ජාතික ගුවන් සේවය රජයට දරාගත නොහැකි බරක් බවට පත්ව ඇති බවට පැහැදිලි සංඥාවක් නිකුත් කරයි. පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 7.9 ක ලාභයෙන් 134.6% ක දැවැන්ත පසුබෑමක් සනිටුහන් කරන මෙම මූල්‍ය දත්ත, ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් පෙන්නුම් කරන බව විශ්ලේෂකයින්ගේ මතයයි.


මූල්‍ය දත්තවල අඳුරු චිත්‍රය

ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම වාර්ෂික වාර්තාවේ සංඛ්‍යා ලේඛන මගින් එහි මූල්‍ය සෞඛ්‍යය පිළිබඳව අවිනිශ්චිත චිත්‍රයක් මවා පායි.

දැවැන්ත අලාභය:

රුපියල් බිලියන 2.73 ක ශුද්ධ අලාභය වාර්තා වුවද, සැලසුම් නොකළ එන්ජින් අළුත්වැඩියා වියදම් (රු. බිලියන 2.2) සහ ශුද්ධ මූල්‍ය ගාස්තු (රු. බිලියන 31.6) වැනි ප්‍රධාන බර ගණන් බැලීමෙන් පසු ගුවන් සේවය ඇත්ත වශයෙන්ම රුපියල් බිලියන 7.6 ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.

සෘණ කොටස් හිමියන්ගේ අරමුදල්:

කොටස් හිමියන්ගේ අරමුදල් ඍණ රුපියල් බිලියන 379.5 ක් ලෙස සටහන් වීමෙන් පෙන්නුම් කරන්නේ සමුච්චිත ණය සහ පාඩු හේතුවෙන් ගුවන් සේවය මුළුමනින්ම කඩා වැටී ඇති බවයි.

හැකිළෙන ආදායම:


මගී ආදායම 15% කින් පහත වැටීම සහ සමස්ත ආදායම 10.8% කින් පහත වැටීම, ගුවන් සේවයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වෙළඳපල ආකර්ෂණය පිළිබඳ බරපතල ගැටලු පවතින බව පෙන්වා දෙයි.

පැරණි ණය බර:

නොගෙවූ ජාත්‍යන්තර බැඳුම්කර සහ පොලී ලෙස පවතින ඩොලර් මිලියන 211.57 ක් ඇතුළු සමුච්චිත ණය බර (රු. බිලියන 586.5ක් පමණ), මෙම ආයතනය තවදුරටත් රජයට පවත්වාගෙන යාම බරපතල මූල්‍යමය අභියෝගයක් බවට පත් කර ඇත.

නව සභාපති සරත් ගණේගොඩ ගේ “ලාභදායී මාර්ග” සහ “පස් අවුරුදු ආයතනික සැලැස්ම” පිළිබඳ සුභවාදී හෝ අතිශයෝක්ති ප්‍රකාශයන් කුමක් වුවත්, මෙම සංඛ්‍යා ලේඛන පැහැදිලිවම පෙන්වා දෙන්නේ පැරණි ණය බර සහ මෙහෙයුම් අකාර්යක්ෂමතා මගින් ඕනෑම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයක් යටපත් කරමින් පවතින බවයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය හැරවුම, IMF බලපෑම සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙම අසාර්ථක මූල්‍ය වාර්තාව, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මෑත කාලීන ප්‍රකාශයන් සමඟ සසඳන විට ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක පෙර නිමිත්තක් පෙන්නුම් කරයි.

ජනාධිපතිවරයා රත්නපුරයේදී කළ ප්‍රකාශය, “ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බෑ” නමුත් “පෞද්ගලික අංශය ලාභදායී ලෙස ව්‍යාපාර කරගෙන යන හැටි දන්නවා” යන්න හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් ලෙස සමහරුන් ගේ මතය වී ඇත. එය  ජාතික ජනබලවේගයේ (NPP) මැතිවරණ ආර්ථික ප්‍රතිපත්තියෙන් බැහැරවීමක් ලෙස සැලකිය හැකියි.

NPP රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ව්‍යවසාය (SOE) පෞද්ගලීකරණය අත්හිටුවූ නමුත්, ඔවුන්ගේ මූලික ප්‍රතිපත්තිය වූයේ“උපායමාර්ගික” වැදගත්කමක් ඇති ආයතන රාජ්‍ය අයිතිය යටතේම පවත්වාගෙන ගොස් ප්‍රතිසංස්කරණය කිරීම ය.

එහිදී අකාර්යක්ෂමතාව ඉවත් කිරීමෙන් සහ ප්‍රතිසංස්කරණ මගින් ලාභදායී කළ නොහැකි නම් පමණක් පෞද්ගලීකරණය ගැන සලකා බැලීම අවසාන විකල්පය වශයෙන්  විය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අඛණ්ඩව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ මූල්‍ය අවදානම් අවම කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයට දැඩි පීඩනයක් එල්ල කරයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කළ යුතු යැයි නොපැවසුවද, එම ආයතන අයවැයට බරක් නොවන බවට සහතික වන ලෙස ඔවුන් අවධාරණය කරයි.

රු. බිලියන 380 ක් පමණ වන දැවැන්ත සෘණ කොටස් අරමුදල් සහ රු. බිලියන 2.73 ක නැවුම් අලාභයක් (සැබෑ අලාභය ඊට වඩා වැඩි වීම), ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහය අසාර්ථක බවට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පිළිගැනීමට සිදුව ඇති බවක් පෙනේ.

ඔවුන් විසින් පසුගිය කාලය තුළ ගුවන් සමාගම ගොඩගත්තා යැයි නැඟු හිස් ප්‍රචාරණයන් ද මේ නිසා විහිලු බවට පත්ව අවසන් වී තිබේ.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ගුවන් සේවයේ මූල්‍ය දත්ත එකතුවීම ප්‍රතිපත්තිමය යථාර්ථය පිළිගැනීමක් ලෙස සැලකිය හැකිය.

එය ජාතික ගුවන් සේවය “දේශපාලන” මෙහෙයුම් සහ පැරණි ණය බර යටතේ රජයේ මූල්‍යයට තවදුරටත් බරක් නොවිය යුතු බවට වන යථාර්ථය NPP ආණ්ඩුව විසින් පිළිගැනීමක් ලෙස සැලකිය හැකිය.

එසේම පෞද්ගලීකරණය නොකිරීමට මැතිවරණ සමයේදී දැඩි ස්ථාවරයක් ගත්තද, IMF වැඩසටහන යටතේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාවය, NPP රජයට එහි ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බල කර ඇත. රජයේ ප්‍රකාශයන්ට පටහැනිව, මූල්‍ය ස්ථාවරත්වය සඳහා IMF හි නියෝග (හෝ නිර්දේශ) ඉතසිතින් භාරගැනීමට ආණ්ඩුවට සිදුව ඇති බව මෙම ක්‍රියාවලියෙන් පෙන්නුම් කෙරේ.

මේ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අඛණ්ඩ හා දරුණු මූල්‍ය පාඩුව, මැතිවරණ ප්‍රතිපත්තිවලට වඩා දේශපාලන යථාර්ථය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල කොන්දේසි ප්‍රබල වන බවට වන පැහැදිලි උදාහරණයකි.

එමගින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තම දේශපාලන ප්‍රතිපත්තීන් තම පාලන කාලය තුළම පාවා දීමට එළැඹ ඇති බව නිසැකය. මන්ද, මෙම දැවැන්ත පාඩුව රජය විසින් දැරිය යුතු හෝ දැරිය හැකි පාඩුවක් නොවන බැවින්, පෞද්ගලීකරණය දෙසට යොමු වීම නැවතත් වේගවත් වීම නොවැළැක්විය හැකි තත්ත්වයකි.

පිළිතුරු ලබාදීමේ අයිතිය:-

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.

ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..

Email:- [email protected]
WhatsApp:- +94771474028

Latest Posts

spot_imgspot_img