Saturday, February 14, 2026
spot_img

Latest Posts

පෙබරවාරි 14: ආදරයේ සංකේතය වූ ‘වැලන්ටයින්’ පිටුපස ඇති අපූරු ඉතිහාසය

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

තුන්වන සියවසේ රෝමයේ ජීවත් වූ ශාන්ත වැලන්ටයින් යනු සැබෑ ආදරය වෙනුවෙන් අභීතව පෙනී සිටි පූජකවරයෙකි. එකල රෝමය පාලනය කළ ක්ලෝඩියස් අධිරාජ්‍යයා, විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් යුධ පිටියේදී දක්ෂතා පෙන්වන බව විශ්වාස කළේය. ඒ අනුව තරුණයින්ට විවාහ වීම තහනම් කරමින් ඔහු දැඩි නීතියක් පැනවීය. එහෙත්, ආදරයේ උත්තරීතර බව විශ්වාස කළ වැලන්ටයින් පියතුමා, අධිරාජ්‍යයාගේ නියෝගයට පිටුපා රහසිගතව තරුණ පෙම්වතුන් විවාහ කර දුන්නේය.

මේ බව දැනගත් අධිරාජ්‍යයා ඔහුව සිරගත කළේය. සිරමැදිරියේදී ඔහුට විනිසුරුවරයෙකු වූ ඇස්ටීරියස්ගේ උපතින්ම අන්ධ දියණිය මුණගැසුණු අතර, වැලන්ටයින් පියතුමාගේ යාඥා බලයෙන් ඇයට යළි පෙනීම ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ක්‍රි.ව. 269 දී මරණ දඬුවමට ලක්වීමට පෙර, ඔහු එම දැරියට කුඩා සටහනක් තැබුවේය. ඒ “ඔබේ වැලන්ටයින්ගෙන්” (From your Valentine) යනුවෙනි. අද දක්වාම ලොව පුරා හුවමාරු වන ආදරණීය වැලන්ටයින් පත්වල ආරම්භය සනිටුහන් වන්නේ එතැනිනි. එමෙන්ම, තමන් විවාහ කර දුන් යුවළයන්ට දෙවියන්ගේ ආදරය සිහිපත් කිරීම සඳහා ඔහු හදවතක හැඩය ඇති කුඩා සටහන් ලබා දී ඇත. අද වැලන්ටයින් දිනයේ ප්‍රධාන සංකේතය ලෙස ‘හදවතේ හැඩය’ භාවිතා වන්නේ ද මේ නිසා විය හැකිය.

හදවත විවර කරන ‘වැලන්ටයින් යතුර’ (St. Valentine’s Key)

වැලන්ටයින් යතුර යනු ආදරය ප්‍රකාශ කිරීමේ අපූරු ඓතිහාසික සංකේතයකි. යුරෝපයේ බොහෝ රටවල පවතින සම්ප්‍රදායට අනුව, තමන් ආදරය කරන කෙනෙකුට මෙම යතුර තෑගි කිරීමෙන් අදහස් වන්නේ “මගේ හදවතේ දොරටුව ඔබට විවර කර ඇත” යන්නයි. මෙය විවාහ මංගල්‍යයන්හිදී ලබා දෙන ජනප්‍රිය තෑග්ගක් ද වේ.

ආදරයට අමතරව, ශාන්ත වැලන්ටයින් යනු අපස්මාරය (Epilepsy) සුව කිරීමේ අනුශාසකවරයා ලෙසද සැලකේ. ඉතාලියේ පාදුවා නුවර පල්ලියක සෑම වැලන්ටයින් දිනයකදීම කුඩා දරුවන්ට මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා රන්වන් පැහැති කුඩා ‘වැලන්ටයින් යතුරක්’ ලබා දීමේ සම්ප්‍රදායක් සියවස් ගණනාවක සිට අදටත් ක්‍රියාත්මක වේ.

ශාන්ත වැලන්ටයින්ගේ ධාතු තැන්පත් කර ඇත්තේ කොහේද?

සැබෑ ආදරයේ සංකේතය වූ ශාන්ත වැලන්ටයින්ගේ ශුද්ධ වූ ධාතු ලොව පුරා රටවල් කිහිපයකම දැකගත හැකිය:

  • රෝමය: ඔහුගේ මල් ඔටුනු පැළඳි හිස් කබල රෝමයේ ‘බැසිලිකා ඔෆ් සැන්ටා මරියා’ පල්ලියේ ප්‍රදර්ශනයට තබා ඇත.
  • අයර්ලන්තය: ඩබ්ලින් නුවර වයිට්ෆ්‍රයර් වීදියේ පල්ලියේ ඔහුගේ රුධිරය සහිත කුඩා භාජනයක් ඇතුළු ධාතු තැන්පත් කර තිබේ. සැබෑ ආදරයක් අපේක්ෂා කරන බොහෝ දෙනා පෙබරවාරි 14 වැනිදාට මෙහි පැමිණ සිය ආදර ප්‍රාර්ථනාවන් ඉටු කර දෙන ලෙස යාඥා කරති.
  • වෙනත් රටවල්: මැඩ්‍රිඩ් (ස්පාඤ්ඤය), ප්‍රාග් (චෙක් ජනරජය), පෝලන්තය, ප්‍රංශය සහ ස්කොට්ලන්තය වැනි රටවල පිහිටි දේවස්ථානවලද මෙම ධාතු සුරක්ෂිතව පවතී.

වැලන්ටයින් දිනය යනු හුදෙක් ආදරවන්තයින්ගේ දිනයක් පමණක් නොවේ. එය මානව දයාව, කැපවීම මෙන්ම රෝගීන් කෙරෙහි දැක්වූ අනුකම්පාවද සිහිගන්වන ඓතිහාසික මෙන්ම අතිශය සංවේදී දිනයකි.

Latest Posts

spot_imgspot_img