විජේපාල දිසානායක
ශ්‍රී ලංකාවට ලද හැකි පාඩම්
විනිවිදබාවය පිලිබඳ පනත යටතේ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ පිටු මිලියන ගණනක් වූ ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙම හෙළිදරව් කිරීම ගෝලීය සමාජ අවකාශයේ බැරෑරුම් කතාබහකට ලක්ව තිබෙන අතර නුතන යුගයේ මානව සංහතිය වෙත බලවත් අපකීර්තියක් රැගෙන එන සිදුවීමක් බවටද පත්ව තිබේ. එය හුදෙක්ම ධන කුවේර සිටුවරයෙකුගේ සෘන්ගාරය පිරුණු ලිංගික අපරාධ පිළිබඳ වංශකථාවක් නොවේ. ඒ තුල සඟවා ඇත්තේ බලය, ධනය, රාජ්‍ය ආයතන පද්ධතිය, සහ සමාජ කීර්තිය, විසින් දශක ගණනාවක් තිස්සේ සාපරාධි අපරාධකාරීත්වයක් ආරක්ෂා කරමින් එය ශක්තිමත් පලිහකට ඒකාබද්ධ කළ ආකාරය ගැන කියැවෙන ව්‍යුහ විද්‍යාවකි.
ශ්‍රී ලාංකිකයන් වන අපටද එප්ස්ටයින්ගේ කතාව එහි ඇති භයානක මාතෘකා නිසාම බොහෝ වැදගත් වනු ඇත. එය අපි ජිවත්වන සමාජයටද අනතුරු ඇඟවීමේ කැඩපතක් ලබා දෙයි. එනම් නිසි නියාමනයක් නොකළ බලය ප්‍රජාතන්ත්‍රවාදී වගවීම සුනු විසුනු කරන ආකාරය, නීතිය ක්‍රියාත්මක කිරීම වරප්‍රසාද ඉදිරියේ කුදු වී යන ආකාරය, සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට ආයතන සහ බලගතු අය මැදිහත් වන ආකාරය මෙයින් හෙළි කරයි. කිසිසේත්ම මේවා විදේශීය ගැටළු වලට පමණක් සීමා නොවේ. අප වැනි සමාජයන්ගේද මෙවැනි දේ අතිශයින්ම වේදනාකාරී ලෙස හුරුපුරුදු බව කිව හැකිය.

Donald and Melania Trump with Jeffrey Epstein and Ghislaine Maxwell in 2000 Credit: Davidoff Studios Photography/ARCHIVE PHOTOS
පුද්ගලයා පිලිබඳ විශිෂ්ඨත්වය යනු මිථ්‍යාවකි.
ජෙෆ්රි එප්ස්ටයින් ප්‍රභූ පැලැන්තියකින් හෝ ඔහුට උරුම වූ මහා ධනයකින් පැවත ආ කෙනෙක් නොවිය. ඔහු 1953 දී බෘක්ලින්හි කම්කරු පංති පදනමක් සහිත යුදෙව් පවුලක උපත ලැබිය. මුල් කාලයේ ඔහු ගණිතය විෂය කෙරෙහි නිපුණතාවයක් දැක්වූ අතර කෙටි කාලයක් ගුරුවරයෙකු ලෙස සේවය කළේය.
එහෙත් මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයට ඔහුගේ ප්‍රවේශය, විධිමත් සුදුසුකම් සපුරාලමින් සිදුවූ ප්‍රවේශයක් නොවේ. ඔහුට විශ්ව විද්‍යාල උපාධියක් නොතිබුණි. ඔහු සතුව තිබූ එකම සුදුසුකම වුයේ බලවත් පුද්ගලයින් සමඟ ගොඩනගා ගත් අඛණ්ඩ සම්බන්ධතා තුලින් ඔවුන් තෘප්තිමත් කර ගැනීමේ කැපී පෙනෙන හැකියාව පමණි.
පුද්ගලික ආකර්ශනීය බව සහ උපායමාර්ගික ජාලකරණය හරහා, එප්ස්ටයින්ට 1970 ගණන්වල බෙයර් ස්ටියර්න්ස් හි කනිෂ්ඨ තනතුරක් ලබා ගැනීමට හැකිවිය. අනතුරුව 1980 ගණන්වල මුල් භාගයෙදී ඔහු තමාගේම මූල්‍ය කළමනාකරණ සමාගමක් පිහිටුවීමේ අපේකෂාවෙන් එයින් ඉවත්ව ගියේය. එතැන් පටන් ඔහුගේ වර්ධනය සාම්ප්‍රදායික තර්කනයට බෙහෙවින් පටහැනි විය. ඇත්තෙන්ම ඔහු සමාගමක් ගොඩනැගුවේ නැත. කිසිම නිෂ්පාදනයක් නව්‍යකරණයක් කළේද නැත. එසේත් නොමැතිනම් රාජ්‍ය ආයෝජන අරමුදල් කළමනාකරණය කළේද නැත. එහෙත් ඒ වෙනුවට අතිශය ධනවත් සිටුවර සේවාදායකයින් කුඩා පිරිසක් වෙනුවෙන් පාරාන්ධ විධිවිධාන හරහා ඔහු ධනය පාලනය කළේය.
මෙම පාරාන්ධතාවය ඉතාමත් තීරණාත්මක වීය. එප්ස්ටයින්ගේ ධනය හුදෙක් මූල්‍යමය රැස්කිරීම් නොවේ. ඒවා තොරතුරුමය ඒකරාශී කිරීම්ය. ඔහු කිසි විටකත් රාජ්‍ය සංස්ථා හෝ නියාමනය කරන ලද මූල්‍ය ආයතන ඉල්ලා සිටින විනිවිදභාවයට විවෘත්ත වුයේ නැත. ඒ වෙනුවට පරීක්ෂාවෙන් ඔබ්බට, සෙවනැලි තුළ ක්‍රියාත්මක වීමට ඔහු වග බලා ගත්තේය. ශ්‍රී ලංකාවේ ද මෙවැනි තත්වයන් අපට බෙහෙවින් හුරු පුරුදු අතර දේශපාලන බලය හෝ ධන බලය බොහෝ විට ඒකරාශී වන්නේ දෘශ්‍යමාන ක්‍රියාවලි හරහා නොව, අවිධිමත් ජාල, අභිමත අනුග්‍රහයන් සහ නොපෙනෙන අභිරහස් මූල්‍ය ප්‍රවාහයන් හරහාය.

Melania director Brett Ratner pictured cuddling woman in Epstein files
ආගන්තුක සත්කාර මුදල් වලින්ද කල හැකිබව එප්ස්ටයින් කියාදෙයි.
ප්‍රභූ සමාජ පිළිබඳව මතුපිටට නොපෙනන ගැඹුරු නොසන්සුන්කාරී දෙයක් එප්ස්ටයින් විසින් සොයා ගත්තේය. ඒ සඳහා ඔහු යොදා ගත් උපක්‍රමික ප්‍රවේශය බොහෝ විට මුදලට වඩා එහා ගිය මානව චර්යා විද්‍යාවකි. ඔහු ඒ සඳහා පෞද්ගලික ජෙට් යානා, සුඛෝපභෝගී නිවාස සහ තෝරාගත් සමාජ කවයන් බලපෑම් කිරීමේ මෙවලම් බවට පත්කර ගන්නා ලදී. ජනාධිපතිවරුන්, රාජකීයයන්, නොබෙල් ත්‍යාගලාභීන්, ශාස්ත්‍රඥයින්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යවේදීන්, සහ බුද්ධි අංශවලට සම්බන්ධ පුද්ගලයින්, ඔහුගේ ලෝකය වෙත පහසුවෙන් රැගෙන ගියේය.
ඔහුට අනුව ආගන්තුක සත්කාරය යනු ත්‍යාගශීලීත්වය නොව එය දැවැන්ත ආයෝජනයකි. ඔහු විසින් සිදුකල සෑම ආරාධනයක්ම කිසියම් බැඳීමක් නැතිනම් ඔහු වෙනුවෙන් පක්ෂපාතිත්වයක් හෝ අනුග්‍රහයක් ඇති කළේය.
ශ්‍රී ලංකා සමාජය තුළද මෙවැනි සිදුවීම් එකම වට්ටෝරු ලෙස විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වන බව නොරහසකි. සුඛෝපභෝගී ගෙවල්, යාන වාහන, ලිංගික කප්පම්, විදේශ සංචාර, උසස් පත්වීම්, උපදේශන සේවා සහ ශිෂ්‍යත්ව වැනි දේවල් පිටුපස අඳුරු යථාර්තයක් සැඟවී ඇත. ඕනෑම කෙනෙකුගේ සමාජ කීර්තිය වගවීම සඳහා ආදේශකයක් බවට පත් වන්නේ නම් අපයෝජනය දළුලා වැඩෙමින් සමෘද්ධිමත් වේ.
මෙයින් කියාදෙන පාඩම වන්නේ අන් කිසිවක් නොව, බලයේ මුදල් ලෙස ආචාර ධර්ම ස්ථානගත වන ඕනෑම වෙලාවක ආයතන සහ පද්ධතිය ඇතුළතින් කුණුවී වහැරීමට පටන් ගනී.

How the house of Rothschild became entangled with Epstein
ආයතනික අකාර්යක්ෂමතාව සහ පුද්ගල අපරාධ
එප්ස්ටයින් නඩුවේ වඩාත්ම ව්‍යසනකාරී අංගයක් වන්නේ එතුලින් හෙළිදරව් වූ ඔහු සිදුකල අපරාධ වලට වඩා ඔහුට ඒවා දිගු කාලයක් තිස්සේ නිදහසේ සිදු කිරීමට ඉඩ දුන්නේ ඇයිද යන්නයි. දශක ගණනාවක් තුල එප්ස්ටයින්ගෙන් බේරුනු අය, එනම් මාධ්‍යවේදීන් සහ වෙනත් තොරතුරු හෙළි කරන්නන් ඔහුගේ අපරාධ හෙළිදරව් කිරීමට උත්සාහ කළහ. එහෙත් එම සියළු උත්සාහයන් නැවත නැවතත් දැනුවත්වම උදාසීන කරන ලදී. එකී සෑම ප්‍රයත්නයක්ම, ලිහිල් ආයාචනාත්මක ගනුදෙනු මගින් පරීක්ෂණ අඩපණ කිරීම, ඇතැම් වාර්තා මුද්‍රා තැබීම, හෝ ආයතන මුළුමනින්ම අකර්මන්‍ය කර දැමීමට සමත් විය.
එප්ස්ටයින්ට ෆෙඩරල් චෝදනාවලින් වැළකී සිටීමට ඉඩ සැලසූ ෆ්ලොරිඩාවේ කුප්‍රකට 2008 නඩු නොපැවරීමේ ගිවිසුම තුලින් බලගතු අය ආරක්ෂා කිරීම සඳහා නඩු පැවරීමේ අභිමතය ආයුධයක් ලෙස භාවිතා කළ ආකාරය මැනවින් හෙළි කරයි. මෑත කාලයේ නිකුත්වූ ලේඛන නිකුත් කිරීම් තුලින් නීතිපති කාර්යාලය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සහ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් ආරක්ෂණ පරිසර පද්ධතියක් යෝජනා කර තිබීම දැකිය හැක.
ශ්‍රී ලංකාවේද මෙම ස්වභාවය අපට ආගන්තුක එකක් නොවේ. අප රටේද නීතිපති කාර්යාලය සහ දේශපාලනිකව හෝ ආර්ථික වශයෙන් වරප්‍රසාද ලත් පුද්ගලයින් අතර රහසිගත සම්බන්ධතාවයන් පිළිබඳ සමාජ සංවාද අප ඕනෑ තරම් අසා ඇත. ප්‍රමාද වූ චෝදනා ගොනුකිරීම්, තෝරාගත් නඩු පැවරීම්, කාලයේ වැලිතලාවට වැසියමින් නිහඬව අමතක වී යන නඩු විෂමතා පමණක් නොවේ. ඒවා ගැඹුරු ආයතනික රෝගයක ලක්ෂණ පෙන්නුම් කරයි. එප්ස්ටයින් අපකීර්තිය අපට උගන්වන බරපතල පාඩම වන්නේ යුක්තියේ පද්ධතීන් අහම්බෙන් අසාර්ථක නොවන බවයි. වගවීමේ යාන්ත්‍රණයන් දුර්වල වන විට සහ අභිමතය විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක වන විට ඒවා සහමුලින්ම අසාර්ථක වී යයි.
නිහැඬියාව භයානක සංස්කෘතියකි.

එප්ස්ටයින්ගේ අධිරාජ්‍යය සපුරාම නිහඬතාවය මත රඳා පැවතුනි. ඔහුගේ ලෝකය බිය ගැන්වීමෙන් පමණක් නොව, සමාජ අනුග්‍රහය තුලින්ද බලාත්මක කරන ලදී. වරදක් සිදු වූ බවට සැක කළ බොහෝ දෙනෙක් ගැටුම වෙනුවට සමතය තෝරා ගත්හ. තවත් සමහරු ඔවුන්ගේ නිහඬබව උපක්‍රමශීලි බව, මධ්‍යස්ථභාවය, හෝ වෘත්තීමය බව හැටියට තර්ක කළහ.
ශ්‍රී ලංකාවේ, නිහඬතාවය බොහෝ විට සමාජ සමගිය ලෙස සාමාන්‍යකරණය කෙරේ. රහස් හෙළි කරන්නන් කරදරකාරයන් හෝ කඩාකප්පල් කරුවන් හැටියට හංවඩු ගසනු ලැබේ. වින්දිතයින්ගෙන් කීර්තිනාමයට හානි නොකරන මෙන් හෝ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. ඇතැම් විට මාධ්‍ය ආයතන දේශපාලනික, නීතිමය සහ ආර්ථික වශයෙන් හිලෑ කිරීමට හෝ අත්හැරීමේ පීඩනයට මුහුණ දෙයි.
මෙයි කියැවෙන පාඩම අපහසු නමුත් අවශ්‍යවේ. මක් නිසාද යත්, සත්‍යයට වඩා නිහඬතාවයට හුරුවන සමාජයන් අපයෝජනය සඳහා ආරක්ෂිත පරිසරයන් නිර්මාණය කරන බැවිනි.
සදාචාරාත්මක වගවීම අතුරුදහන්වූ බලයක්.

එප්ස්ටයින් විසින් බුද්ධිමය අවකාශය තුල බැරෑරුම්කමේ ප්‍රතිරූපයක් නිර්මාණය කර ගත්තේය. ඔහු විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොමසුරු ලෙස අරමුදල් සැපයනු ලැබිය. ඇකඩමියාව සහ ශ්‍රාස්ත්‍රාලීය ගුරුකුල සම්බන්ධ කර ගනිමින් ඒවාට වේදිකා සකසා දුන්නේය. විවිධ චින්තකයින්ට වගේම විෂය ප්‍රාමනිකයින්ට සත්කාරකත්වය සැපයීය. ඒ තුලින් ඔහු ගෞරවනීය බවක් අත්පත් කර ගත්තේය. සමාජ ගෞරවය පිළිබඳ මෙම රැකවරණය තුලින් ඔහුව සුපරීක්ෂාවෙන් හුදකලා කරන ලදී. එය අපට මතක් කර දෙන්නේ “දැනුම ගොඩනැගීම වෙනුවෙන්” පරිත්‍යාගශීලිත්වය හෝ ගෞරවය වැනි හේතූන් සමඟ සම්බන්ධ වූ පමණින් කෙනෙකු සුජාතකරණය නොවන බවයි.
ශ්‍රී ලංකාවේද ඇතැම් අවස්ථාවල ධන පරිත්‍යාගය, සමාජ සුභ සාධනය, වැනි ගුණධර්ම වලට ආවරනයවී සිදුවන පෞද්ගලික විෂමාචාරයන් පිලිබඳ සංවාද ඕනෑ තරම් දැකිය හැක. විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් තොරව ධනය උපයා ගන්නවා වෙනුවට එය සමාජ ගෞරවයට යටත් වී හිලව්වී ගිය කල වගවීම අතුරුදහන් වී යයි.
එප්ස්ටයින් අපකීර්තිය කැඩපතක් ලෙස.
එප්ස්ටයින් සිද්ධිය අඳුරු ඇමරිකානු ව්‍යාධි විද්‍යාවක් මෙන්ම බටහිර ගෝලීය ප්‍රභූ සමාජයේ විකාර විෂමතාවයක් ලෙස දැකීම යම් අස්වැසිල්ලක් රැගෙන එයි. එහෙත් එය විශාල නොමග යාමකි. ඔහුගේ කතාව හුදෙක්ම සංස්කෘතික මාතෘකාවක් ගැන කියැවෙන එකක් නොවේ. එය බලය පිලිබඳ කතාවකි. අධීක්ෂණයකින් තොරව බලය එක්රැස් වන ඕනෑම තැනක, මහජනතාවට වඩා බලගතු අයට සේවය කරන ආයතන පවතින ඕනෑම තැනක, සහ නිශ්ශබ්දතාවය රජ කරන ඕනෑම තැනක, එප්ස්ටයින්ලා දුසිම් ගණන් මතු වීමට නියමිතය. වෙනස් වන්නේ උච්චාරණ ශෛලීන්, විවිධ ඇඳුම් මෝස්‌තර සහ රහසිගත දූපත්වල නම් ගම් පමණි.

ශ්‍රී ලංකාව සඳහා, එප්ස්ටයින් අපකීර්තිය දුරස්ථ දර්ශනයක් ලෙස පරිහරණය නොකළ යුතුය. එය අනතුරු ඇඟවීමක් ලෙස කියවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයන් කඩා වැටෙන්නේ කුමන්ත්‍රණ හෝ විප්ලව හරහා පමණක් නොවේ. යුක්තිය ඉල්ලා නොසිටින කළ සහ වගවීම තෝරා බේරා නොගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදය නිහඬවම දිරාපත් වේ.
අපට ඇති ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවට තමන්ගේම එප්ස්ටයින්ලා ඉන්නවද යන්න නොවේ. ඇත්ත ප්‍රශ්නය වන්නේ කිසිවෙකුට කොතරම් බලවත් වුවත්, නැවත කිසිදා එවැනි දණ්ඩ මුක්තියකින් ක්‍රියාත්මක විය නොහැකි බව සහතික කිරීමට හැකියාව ඇති පද්ධති අපේ රටේ ගොඩනඟා තිබේද යන්නයි.
අවසාන වශයෙන්, සිවිල් සමාජය සහ මාධ්‍ය සුපරීක්ෂාකාරිත්වය රටක යහපැවැත්මට අත්‍යවශ්‍ය වේ. එප්ස්ටයින් අවසානයේ හෙළිදරව් වූයේ ආයතන වල තිබු කාර්යක්ෂමතාව නිසා නොවේ. එඩිතර මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන්, දීවි ගලවා ගත් අය වෙනුවෙන් නොබියව පෙනී සිටීම තුලිනි.
එබැවින් මතක තබා ගතයුතු පාඩම වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නොනැසී පවතින්නේ ආයතන සර්ව පරිපූර්ණ නිසා නොව, ඒවාට නොබියව අභියෝග කළ හැකි පුරවැසි සමාජය, ශක්තිමත් කිරීමෙනි.



