Saturday, February 14, 2026
spot_img

Latest Posts

ටිකිරිගේ විපක්ෂ කොළම – 6

සුබ ගමන් නන්දන ගුණතිලක



මේ සටහන ලිවීමට පැය කිහිපයකට පෙර ලංකාවේ දිගුකාලීනව දේශපාලනයේ යෙදෙමින් මන්ත්‍රී ධුර, ඇමති ධූර හා ජනාධිපති අපේක්ෂක ධුරයක් පවා දැරූ නන්දන ගුණතිලක තම දිවිසැරිය අවසන් කර ඇත. මිය යනවිට 63 වියේ පසුවූ ඔහු පසුගිය සති කිහිපයේ රෝගාතුරව සිටියේය.


නන්දන ගේ විපක්ෂ දේශපාලනය ආරම්භවන්නේ ඉතා තරුණ වයසේදීය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් තම යෞවනය කැප කළ මිනිසෙකි.අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන තමා වෙනුවෙන් නොව තමා විශ්වාශ කළ දේශපාලනය වෙනුවෙන් කැපවූ අයෙකි. වාමාංශික හා මධ්‍ය දක්ෂිණාංශික කඳවුරු වල දේශපාලන අත්දැකීම් ලද අයෙකි. පානදුර නගර සභාවේ කෘතහස්ත දේශපාලනයක් කළ අයෙකි. නන්දන ගැන බොහෝ දෙනෙකුට බොහෝ දේ කියන්නට හැකි වනු ඇති බව මම දනිමි.

1982 සිට 2004 දක්වා ඔහුගේ දේශපාලනය ජවිපෙ සමගය. 2004 සිට 2014 දක්වා පොදු ජන එක්සත් පෙරමුණ සමගය. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂය සමගය. නන්දන ගේ දේශපාලන චාරිකාව මම දකින්නේ ලාංකීය දේශපාලනයේ අක්මුල් සිසාරා ගිය දේශ ගවේෂණයක් ලෙසිනි. ඔහු ගැන පොත් ලියවිය යුතුය.

මෑත දේශපාලනයේ විපක්ෂයේ භාරධුර යුතුකම් කරමින් ඔහු සිටියේය. ප්‍රතිපත්තිමය වශයෙන් මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම දිවියේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් " මරාගෙන මැරෙන " බවට ඔහු කල ප්‍රකාශයය. ජවිපය ප්‍රමුඛ ආණ්ඩුවකට ජවිපෙ භාෂාවෙන් පිළිතුරු දීමට ඔහු සමත් විමකි . එය ඔහුගේ කැපවීම සම්බන්ධව අපිට ඉතිරි කර ගිය අන්තිම මතක සිටින වාක්‍ය විය හැකිය.

අනෙක් අතට අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් නන්දන ප්‍රතිපත්තිමය වශයෙන් දැඩිව පෙනී සිටියේය. මා දකින්නේ නන්දන මිය යන්නේ මේ කරුණු දෙක ගැනම දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින විටදීය. නන්දන ගේ විපක්ෂ කාර්ය භාරය නොවන්නට අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිළ පත් කිරීම් සම්බන්ධයෙන් මාලිමා-ජවිපෙ දේශපාලනීකරණය ලොවට හෙළිවන්නේ නැත. "වරක් විප්ලවවාදියකු සැමදා විප්ලව වාදියකු" වශයෙන් තම මව්බිම වෙනුවෙන් කාර්‍ය කරන බවත් මරණයට පවා මුහුණ දෙන බවත් නන්දන අපට කියා දී ඇත. සුබගමන් කොම්රාඩ්.. යයි අකමැත්තෙන් වුව ඔහුගෙන් අපට සමුගන්නට සිදුව තිබේ. ඔහු අහිමි වීම වත්මන් විපක්ෂ කඳවුරට බලවත් පාඩුවකි.

පසුගිය සතියේ විපක්ෂය

අද විපක්ෂ කොළමේ සටහන පසුගිය සතිය තුල විපක්ෂයේ කාර්‍ය භාරය වැඩිපුර ලියන්නට සිතා සිටියත්, ආණ්ඩුවේ අධිමාත්‍රික සමලිංගික අධ්‍යාපනි කරණය ගැන තවමත් විපක්ෂය පෙනී සිටිමින් තිබෙන නිසා කෙටියෙන් ලියන්නට සිතුවෙමි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩුපාඩු අතර විපක්ෂය අවධානයට ගෙන තිබුණේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කරුණු පමණ යයි මට සිතේ. තවමත් දැනට මොඩුයුල නිමවා ඇත්තේ පළමු වාරයට පමණි.ඒවා බොහෝ කලකට පෙර සකසන ලද ඒවා වන අතර සෝදුපත් හෝ විෂය කරුණු නිවැරදි කිරීම් ගැන වගකීමෙන් තොරව ක්‍රියාත්මක වීමට ඉදිරිපත් කර ඇත. අනෙක් වාරයන් සඳහා නිමවා නැති මොඩුයුල වල නිවැරදි භාවය ගැන සහතික විය නොහැකිය. විපක්ෂය අධ්‍යාපන ඇමතිවරියගේ පිළිවෙලක් නැති වැඩ කිරීමේ කලාව ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට හා සාධාරණ හා ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට සංවාදයක් විපක්ෂය විසින් ගොඩනගන බවක් පෙනෙන්නට නැත. ජාතිකවාදී විපක්ෂය නැවත “වඳ කිරීම්” තේමාව ලෙස ගෙන එමින් සුපුරුදු දේශපාලනය ආරම්භ කර තිබේ. එය මෙම ආණ්ඩුව පෙරලා දැමීමට බාධාවක් මිස සහයක් නොවනු ඇත්තේ එවැනි කරුණු දේශපාලනික කරුණු කරගැනීම තුල වත්මන් ජාතික හා රාජ්‍ය අර්බුධයට විසඳුම් නොමැති බැවිනි. අනෙක් අතට එම විපක්ෂ කඳවුරම හතේ පොතට විරුද්ධ වීමේ අතීත අවාසිය අවම කරගැනීමට පියවරක් නොගෙන සිටී. විපක්ෂය නියෝජනය කරන ජාතික කඳවුර කොතරම් වෙහෙස වී වැඩ කළත් එහි වාසිය ආණ්ඩුවට විතැන් වෙන ස්වභාවයක් තිබේ.

එහෙත් ජාතික කඳවුරේ විපක්ෂය ආණ්ඩුවේ අදෘශ්‍යමාන ආශිර්වාදයක් ලබමින් සිටී. අනුර ප්‍රමුඛ ජවිපයේ බෞද්ධ හා දකුණ විරෝධී හැසිරීමය. එය ධනාත්මක ලෙස මිස අන්තගාමී ලෙස කළමනාකරණය කර ගැනීමට ජාතිකවාදී විපක්ෂය සමත් වීම වැදගත් වේ. මන්ද එය ආණ්ඩුව අපේක්ෂා කරන දේශපාලන උපක්‍රමයක් විය හැකි බැවිනි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වුව විපක්ෂයේ සජබය හැරුණු විට ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගැඹුරු කියවීමක් අනෙක් කිසිදු කණ්ඩායමකට තිබුණේ නැත. ඔවුන් සුපුරුදු ජාතිකවාදී හා ලිංගික අධ්‍යාපනයට විරුද්ධ ආකල්පය මතු කරන දේශපාලනයේ යෙදුණා මිස තාර්කික බාවිතාවක් පෙන්වුයේ සාපේක්ෂව මද වශයෙනි. ඒනිසාම දිලිත්, නාමල් ප්‍රමුඛ ජාතික කඳවුර ඉතාමත් සක්‍රියව සිටියත් ඔවුන්ගේ ක්‍රියා දාමයන් ජවිපය විසින් හරිනි එලවා දැමීමට කරන ප්‍රචාරණයේ කොටසක් ලෙස ක්‍රියා කරනු පෙනුණි.

සජබය ට යොවුන් රුධිරය

පසුගිය දින කිහිපය සජබය තම විපක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල තරුණ ක්‍රියාකාරීන් ට පත්වීම් කර තිබුණි. සමාජ මාධ්‍ය තුල සක්‍රීය වරුණ රාජපක්ෂ, චරිත් අබේසිංහ හා වෛද්‍ය චමල් සංජිව ඒ අතර විය. ඒ අනුව සජබය නායකත්ව පරාසය පුළුල් කරමින් සිටි. එය සුබවාදී ප්‍රවණතාවයකි. ඔවුන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි විශාල අවධානයක් දෙමින් හඬක් නගන ලදී.

අපගේ අපේක්ෂාව විපක්ෂය තියුණු වීමට කටයුතු කිරීමය. ආණ්ඩු පක්ෂය තුල ගොනු වී ඇති ආණ්ඩු බලය ට අභියෝගයක් වෙමින් රට නිවැරදි අතට ගෙන යාමට බල කිරීමට මේ මොහොතේ ඇති එකම ප්‍රජාතන්ත්‍රවාදී උපකරණය විපක්ෂයය.

මතු සම්බන්ධයි..

ටිකිරි සුභාෂිණි විෆ්ලර්


නීතිවේදිනි, අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)
විධායක අධ්‍යක්ෂිකා– ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය

Latest Posts

spot_imgspot_img