ටිකිරිගේ විපක්ෂ කොළම 3 කොටස
අපි ගියවර කතා බහ කළේ "අපිට විපක්ෂයක් වීම පුරුදු ද" යන්නයි. රාජාණ්ඩුවක් තුලින් ආරෝපණය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත එන ගමනේදී 1940 දශකය අවසන් වන තුරුම දේශපාලන විපක්ෂයක් අපට නොතිබුණි. අධිරාජයා හා දේශීය බලවේග අතර තිබු සදාතනික විරසකය පමණක් අපි හඳුනා ගතිමු. එහෙත් එතෙක් අප පාලනය වූ බ්‍රිතාන්‍ය විපක්ෂය අපගේද විපක්ෂය විය.

1900 සහ 1945 අතර කාලය තුළ, බ්‍රිතාන්‍ය පක්ෂ ක්‍රමයේ වෙනස්කම් සහ පාර්ලිමේන්තු විපක්ෂයේ වර්ධනය වන භූමිකාව ලංකාවේ යටත් විජිත පාලනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කළේය.ඒ අප බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව එහි පාලනය තුලට අයත්ව සිටි බැවිනි. එනයින් බ්‍රිතාන්‍යයේ පක්ෂ ක්‍රමය හා විපක්ෂය ක්‍රියාත්මක වූ අකාරය ගැන අදහසක් ලබා ගැනීම වැදගත් වේ.
සියවස ආරම්භයේදී, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු දේශපාලනය තුල ද්විපක්ෂ ක්‍රමය ට අනුව ආධිපත්‍යය දැරුවේ කොන්සර්වේටිව් සහ ලිබරල් පක්ෂයන් විසිනි. එම පක්ෂ දෙකම අධිරාජ්‍යයට පුළුල් ලෙස සහාය දැක්වූ නමුත්, විපක්ෂය රජයේ ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමෙන් සහ අපයෝජන හෙළිදරව් කිරීමෙන් අත්‍යවශ්‍ය ව්‍යවස්ථාමය කාර්යභාරයක් ඉටු කළේය. අප ගිය සතියේ කොළමෙන් විපක්ෂය යනු “රජතුමාගේ දෙවනි ආණ්ඩුව” ලෙස සැලකෙන සංකල්පය සාකච්චා කළෙමු. එම අදහස ස්ථාපිත වන්නේ ඉහත කී ක්‍රියාදාමය නිසාය.
පළමුවන ලෝක යුද්ධයට පෙර එංගලන්තයේ පැවැති ලිබරල් ආණ්ඩු ලංකාවේ සීමිත ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අතර, යුක්තිය, නීත්‍යානුකූලභාවය සහ යහපාලනය පිළිබඳ විපක්ෂ විවාදවල පීඩනය හා මැදිහත් වීම් හේතුවෙන්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව පුළුල් කිරීම වැනි දේ ඊට ඇතුළත් විය.එහිදී ලාංකීය පුරවැසියන් කිසිදා නොදුටු, අත් නොවිඳි විපක්ෂයක් අපගේ පාලනය වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇත.
පළමුවන ලෝක යුද්ධය අතරතුර සහ ඉන් පසුව, ලිබරල් පක්ෂය දුර්වල වීම සහ ප්‍රධාන විපක්ෂය ලෙස කම්කරු පක්ෂය විශාල නැගීමක් සටහන් කරන ලදී. එසේ වුයේම යටත් විජිතවල මර්දනය, වාර්ගික අසමානතාවය (සුදු කළු භේදය සහ බෙදා පාලනය කිරීම) සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම විවෘතව විවේචනය කළ නව හඬ පාර්ලිමේන්තුවට ගෙන ඒම නිසාය. . කම්කරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී යටත් විජිත ගැටළු මතු කළහ, ආණ්ඩුකාරවරුන්ගේ බලතල ප්‍රශ්න කළහ, වෘත්තීය සමිති ආරක්ෂා කළ අතර යටත් විජිත වලට නිදහස ලැබිය යුතු බවට බ්‍රිතාන්‍යයේම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සම්බන්ධ කරමින් විවේචනය කළහ.
මෙම විපක්ෂ ක්‍රියාමාර්ග අධිරාජ්‍ය පාලනය වහාම හෝ ඉක්මනින් අවසන් නොකළ නමුත් යටත් විජිතවාදය හුදෙක් පරිපාලන කාරණයක් වෙනුවට, අප වැනි යටත් විජිත වල ස්වයං අයිතීන් අහිමි කිරීම , බ්‍රිතාන්‍ය ජාතික සදාචාරාත්මක හා දේශපාලනික ගැටලුවක් බවට පත් කිරීමෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන වාතාවරණය වෙනස් කළේයඑතෙක් ආණ්ඩු කරන ලද ලිබරල් පක්ෂය කුඩා වීමටත් කොන්සර්වේටිව් හා කම්කරු පක්ෂ දිවිපක්ෂ ක්‍රමය තුල ස්ථාපිත කිරීමත් ආරම්භ වුයේ බ්‍රිතාන්‍ය විපක්ෂය තුල යටත් විජිත දේශපාලනයේ හා යටත් විජිත වල විපක්ෂ හඬ නියෝජනය කිරීමය.
අන්තර් යුද්ධ සමයේදී ජාතික ආණ්ඩු බිහි වුවද , යටත් විජිතවාදයේ ක්‍රමයෙන් අවසානය හැඩගැස්වීමේදී විපක්ෂයේ කාර්යභාරය ඊටත් වඩා වැදගත් විය. ඒ අනුව යටත් විජිත කාලයේ නියමිත විපක්ෂයක් නැතිව වුවද එදා බ්‍රිතාන්‍ය ආණ්ඩුව තුල විපක්ෂ හඬක් ගොඩ නැගී තිබුණි. එය ගෝලීය විපක්ෂයක අවශ්‍යතාවන් ඉටුවූ අවස්තාවක් බව කිව හැකිය.
විශේෂයෙන් 1930-1939 කාලය බ්‍රිතාන්‍ය විපක්ෂය එහි යටත් විජිත වලට දිගු කළින සැලසුම් සහගත ස්වයං පාලනයන් වෙනුවෙන් හේතුකාරක විය. එම වසර වල බිහි වූ ජාතික රජය තුළ කොන්සර්වේටිව් නායකත්වයෙන් යුත් අවස්ථාවන් අධිරාජ්‍ය අධිකාරිය ආරක්ෂා කිරීමට උත්සාහ කළද, කම්කරු විපක්ෂය, හදිසි නීති, ආර්ථික සූරාකෑම සහ ලංකාව වැනි යටත් විජිතවල ස්වයං පාලනයක් නොමැතිකම නිරන්තරයෙන් අභියෝගට ලක් කළේය. පාර්ලිමේන්තු විවාද, කමිටු විමර්ශන සහ මහජන විවේචන හේතුවෙන් රජයන්ට බ්‍රිතාන්‍ය ඡන්දදායකයින්ට යටත් විජිත ප්‍රතිපත්ති සාධාරණීකරණය කිරීමට බල කෙරුණු අතර, බලය භාවිතා කිරීම සීමා කරමින් සහ ව්‍යවස්ථාමය විසඳුම් දිරිමත් කළේය.
විපක්ෂය විසින් එල්ල කරන ලද මෙම පීඩනයන් යටතේ, බ්‍රිතාන්‍යය ලංකාවට 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් අතර, එය අධිරාජ්‍ය ප්‍රමිතීන්ට අනුව දියුණු ප්‍රතිසංස්කරණයකි.ඒ හරහා ශ්‍රී ලංකාවට සර්වජන චන්ද බලය ලෝකයේ බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වීමට පෙර හිමිවිණි. ඉන්දියාවද සර්වජන චන්ද බලය ලැබුවේ ලංකාවට පසුවය.
1930 ගණන්වල අග භාගය වන විට, ක්‍රියාකාරී විපක්ෂයක් විසින් පවත්වාගෙන යනු ලැබූ බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, කැමැත්තෙන් තොරව, යටත් විජිත පාලනය කිරීම වඩ වඩාත් දුෂ්කර කළේය. එ නිසාම ප්‍රතිසංස්කරණ කෙරෙහි ආණ්ඩුවලට යොමුවන්නට සිදුවීම යටත් විජිත හිමියාගේම විපක්ෂයේ වික්‍රමයකි.
දෙවන ලෝක යුද්ධයට මැදිහත්ව බ්‍රිතාන්‍යය තවදුරටත් දුර්වල වනවිට, දිගුකාලීන විපක්ෂ තර්කය වුයේ අධිරාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවටය. මේ තර්කය එවකට ලෝකයේ ප්‍රවණතා අනුව නොවැළැක්විය හැකි වූ අතර, 1948 දී ලංකාවේ යටත් විජිත පාලනය සාකච්ඡාමය හා සාමකාමී ලෙස අවසන් කිරීමට මග පාදන්නේ එම විපක්ෂ ක්‍රියාමාර්ග බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ගැන හා එහි සංවාද ගැන අධ්‍යනය කරන විට වැටහේ.

ජර්මනියේ නාසීන් හා විපක්ෂය.
යටත් විජිතවාදය සහ ජර්මනියේ හොලොකවුස්ට් අතර සංසන්දනය අතර සමානකම් නොතිබුණත්, ජාතිවාදය ඒකාධිපති වාදය ගැන දෙපිරිසම අතර පැවැති සමානකම් නිසා යටත් විජිත හිමියන් වන ප්‍රංශයට බ්‍රිතාන්‍යයට එම රටවලවිපක්ෂ ජනතාවගේ බලපෑම් ද වැඩි විය. යටත් විජිත සම්පත් හා සොල්දාදුවන් නොවන්නට දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර කඳවුර අසමතුලිත වීමට ඉඩ තිබුණි. එහෙත් එක අතකින් යටත් විජිත හිමියන් යටත් විජිත තුල අභ්‍යාස කරන කරුණුම හිට්ලර් ගේ නාසි ජර්මනිය ක්‍රියාත්මක කරන විට, හා එයට එරෙහිව යටත් විජිත සටන් වදිනවිට විපක්ෂ බලවේග විසින් මතුකරන ලද කරුණු යුරෝපයේ දේශපාලනය සහ සදාචාරය සඳහා වැදගත් බෙදාගත් පාඩම් සහිත හැරවුම් ලක්ෂයක් ගන්නා ලදී.
දශක ගණනාවක් තිස්සේ, යුරෝපීය යටත් විජිතවාදය පදනම් වූයේ ජාතිවාදී ධූරාවලි, දේශපාලනික අයිතිවාසිකම් අහිමි කිරීම සහ ක්‍රමානුකූල ප්‍රචණ්ඩත්වය මත වන අතර ඒවා “ශිෂ්ටාචාරය” ලෙස සාධාරණීකරණය කරන ලදී.
යටත් විජිත පාලනයන් කාර්මික අකාරයෙන් නාසි ජර්මනිය මෙන් මහා පරිමාණයෙන් සමූලඝාතනය කිරීම අරමුණු නොකළද, ඇතැම් ජනගහනයන්ට අඩු අයිතිවාසිකම්, අඩු ගෞරවයක් සහ අඩු දේශපාලන හඬක් ඇති බවට වූ මතය ,සහ වෙනස්කම් වලට ලක් කිරීම් අතර සමානකම් ගැන සංවාද බිහි වීම ලෝක ඉතිහාසය වෙනස් කළේය.
අනෙක් අතට, හොලොකවුස්ට් රැඩිකල් බිඳීමක් නියෝජනය කළේය. එය සමස්ත ජනගහන කණ්ඩායමක් සම්පූර්ණයෙන් සමූලඝාතනය කිරීමේ පැහැදිලි ඉලක්කයක් සහිත රාජ්‍ය විසින් සංවිධානාත්මක හා කාර්මිකව ක්‍රියාත්මක කරන ලද ජන සංහාරයකි.
1945 න් පසු යුරෝපීය සමාජයන් මෙයින් උකහා ගත් පාඩම ලෝකයේ පැවැත්මට එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි සංවිධාන හා මානව හිම්කම් හඳුන්වා දීම වැනි විශ්වීය වෙනස්කම් රාශියකට මූලික විය.
“විරුද්ධත්වයක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය නිෂ්ඵල ය ” , යන්න ස්ථාපිත වුයේ මේ දෙවන ලෝක යුද්ධයයෙන් පසුවය.
“මානව හිමිකම් සාපේක්ෂීකරණය නොකළ යුතු අතර. ජනතාවගේ අයිතීන් වෙනුවෙන් රාජ්‍ය බලය අභ්‍යන්තරව සහ බාහිරව. සීමා කර පාලනය කළ යුතුය” යන පොදු අදහසට ලෝකය පැමිණියේ මේ සිද්දි දාමයෙන් පසුවය.
විශේෂයෙන් යුරෝපය තමන්ගේම ජාතිවාදී මතවාදයන්ගේ ප්‍රතිවිපාක අත්විඳීමෙන් පසුව යටත් විජිතවාදය, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමඟ සදාචාරාත්මකව නොගැලපෙන බව පසුකාලීනව හඳුනා ගන්නා ලදී.මෙය ඒ කාලයේ විපක්ෂ මත දරු මහත්මා ගාන්ධි,ඇල්බට් අයින්ස්ටයින් ,බර්ටෝල්ට් බ්‍රෙච්ට් වැනි දේශපාලන, විද්‍යාඥ, සාහිත්‍යධර ජාත්‍යන්තර චරිත වටා රොක්වුණු විපක්ෂ බලවේග විසින් කුළුගන්වනු ලදුව ඇති වූ ප්‍රථිපලයකි.
මේ ඉතිහාසගත කරුණු අද කොලමෙන් පැහැදිළි කලේ විපක්ෂයක කාර්ය භාරය බොහෝ විට දේශ සීමාවන් ඉක්මවා ගෝලීය වීමේ අවස්ථාව පැන නැගුණු අකාරය පැහැදිලි කිරීමටය. 1948 වන තුරුම බ්‍රිතාන්‍ය විපක්ෂය ශ්‍රී ලංකාවේද.ඔවුන්ගේ සියළුම යටත් විජිත වලට විපක්ෂය වීම තුල ඇති වූ ගෝලීය ප්‍රවණතා පැහැදිලි කිරීමටය.
නාසි බලවත්වීම හා විපක්ෂය මර්දනය
අනෙක් අතට ජර්මනිය ගැන විශේෂයෙන් සලකා බලන විට නාසිවාදීන් හෙවත් ජාතික සමාජවාදීන් 1933 බලයට පැමිණියේ සුළුතරයකිනි. ඔවුන්ට ලැබී තිබුණේ රයිච් ටාග්(Reichstag ) හි ආසන 647 කින් 288 කි. එය ප්‍රතිශතයක් ලෙස 44% කි. KDP හෙවත් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ආසන 81 ක් ලබා සිටි අතර බලයට පැමිණි නාසීන් වහාම එම 81 දෙනා අත්අඩංගුවට ගන්නා ලදී. ජර්මානු ජාතික ජනතා පක්ෂය හෙවත් DNVP පක්ෂය වන උග්‍ර ජාතිකවාදී පක්ෂයේ සහය ලබා ගැනීමට නාසි පාලනයට හැකි විය. සුළුතර ආණ්ඩුවක් ගොඩ නගා ඔවුන් බහුතරයක් වුයේ එලෙසිනි.
විපක්ෂය මර්දනය කිරීමෙන් පසු නාසීන් විසින් තම ආණ්ඩු බලය ස්ථාපිත කරගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසය. එම බලය මෙහෙයවීමෙන් කරන ලද හානිය ඒකාධිපති වියරුවට එහා ගිය ක්‍රමවේදයන් හරහා ජන සංහාරයක් කිරීමකි. නාසි ජර්මනියට එවැනි සංසිද්ධියකට මුහුණ දීමට සිදුවන්නේ විපක්ෂය දැඩි ලෙස මර්දනය කිරීම නිසාය. ශක්තිමත් විපක්ෂයක් පවත්වා ගැනීමට අවස්ථාව තිබුණේ නම් ඒ මහා විපත් වලක්වා ගැනීමේ අවස්ථාව තිබුණි. ක්‍රමානුකුල ව නිහඩව ගිය විපක්ෂයට එක්ව සටන් කිරීමේ එකමුතුව නොතිබිණි.
1900 හා 1945 දක්වා ලෝක විපක්ෂ කාර්යභාරය හැසිරී තිබෙන අකාරය ගැන ඔබට අදහසක් ලැබෙන්නට ඇත. අපගේ නුතන ලංකාව හා ජර්මනිය තුල වත්මනේ ක්‍රියාත්මක චන්ද ක්‍රමය තුල බෙහෙවින්ම සමානකම් තිබේ. එය සමානුපාතික ක්‍රමයකි. ජර්මනිය තුල නැවත කිසිදිනක තනිපක්ෂ ආණ්ඩු බිහිවන්නේ නැති බව ස්ථිරය. බිහිවන්නේ සභාගයන් ය. එහෙත් ලංකාවේ සමානුපාතික චන්ද ක්‍රමයට සාපේක්ෂව විධායක ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සර්වබලධාරී එම තනතුර ට පත්වන එක කණ්ඩායමකට පිට පිට අවස්ථා දෙකකදීම තුනෙන් දෙකක බහුතර බලයක් ලැබී තිබුණි. මේ ප්‍රවණතාවය තුල වත්මන් ආණ්ඩුව තම අධිකතර බලය විපක්ෂය මර්දනයට යොදවන හැටි සියුම්ව අධ්‍යයන කල හැකිය. ශක්තිමත් කරට කර සටන් කරන හෝ උරෙන් උර ගැටෙන විපක්ෂයක් නැතිවත්, ආණ්ඩුව විවිධ අයුරින් විපක්ෂය මර්දනය කිරීමේ ආකාරයක් දැකිය හැකිය.

ආණ්ඩුව දේශපාලන බලවේගයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නේ නැති බව හා විශ්වාශ නොකරන බව පෙනේ. විපක්ෂය කුඩා කණ්ඩායම් වශයෙන් විසිරි සිටි. දුර්වල මුත් රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂයක් ගොඩ නැගිය හැකි වතාවරණයක් බිහි වී තිබියදීත් ඔහුගේ “සම්ප්‍රදායික දේශපාලන කඳවුර නිරවුල් කරගැනීමේ නොහැකියාව” නිසා සමාජමය වශයෙන් හෝ ශක්තිමත් විපක්ෂයක් පවත්වාගෙන යමින් ආණ්ඩුවේ අත්තනෝමතික ගමනට තිරිංග දැමීමට නොහැකි, භේද භින්න වූ විපක්ෂයක් අපට දක්නට ලැබෙයි.
ඒ නිසාම ලංකාවේ ඉදිරිගමන හා ප්‍රජාතන්ත්‍ර ගමන සැක සංකා රාශියක් ගොණු කරයි. ආර්ථික,දේශපාලන හා විදේශ මැදිහත් වීම් වල සෞඛ්‍ය සම්පන්න නොවන අර්බුධයන් හා ඒකාධිපති ගමනක හැඩතල පෙන්වයි. විපක්ෂය තුල නැගිටිය හැකි චරිත එදා නාසීන් කලාක් මෙන් එක් එක් හේතු මත අත් අඩංගුවට පත් විය හැකිය. නාමල් හා රනිල් එහි පෙරමුණේම සිටිති. ලාංකීය අනාගතය අවිනිශ්චිත කර ඇත්තේ එකමුතුවක් නැති නවීකරණය නොවන හා පුටු හැර නොයන විපක්ෂ කණ්ඩායම් විසින් ය. එය වෙනස් විය යුතුය. විපක්ෂය අළුත් සුළං වලට හා තරුණ රුධිරයට ඉඩ දිය යුතුය.
මතු සම්බන්ධයි.

ටිකිරි සුභාෂිණි විෆ්ලර්
නීතිවේදිනි, අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)
විධායක අධ්‍යක්ෂිකා- ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය)



