Saturday, February 14, 2026
spot_img

Latest Posts

මාධ්‍ය මර්ධනය, රාජ්‍යය සහ මාලිමාවේ දේශපාලන අර්බුදය


පහත පලවන සමබිම පක්ෂයේ ලිපිය මගින් මාලිමාව ප්‍රමුඛ රජය වර්තමානයේ මුහුණ දී සිටින "මාධ්‍ය අර්බුදය" හුදු ප්‍රකාශනයක් හෝ තර්ජනයක් ලෙස නොව, ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ පවතින උපායමාර්ගික දුර්වලතාවක් ලෙස හඳුනා ගනී.

ලිපියෙහි අන්තර්ගතය ප්‍රධාන කරුණු තුනක් යටතේ විශ්ලේෂණය කළ හැකිය:

1. උපායමාර්ගික නොහැකියාව සහ "භූමරංග" ආචරණය

ලිපිය තර්ක කරන්නේ, මාලිමාව බලයට පත්වීම සඳහා යොදාගත් මතවාදී අවි (විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය ජාල) දැන් ඔවුන්ටම එරෙහිව හැරී ඇති බවයි.

ප්‍රතිවිරෝධතා පාලනය: ජේ.ආර්. ජයවර්ධන හෝ මහින්ද රාජපක්ෂ වැනි නායකයන් ප්‍රතිවාදීන්ගේ අභ්‍යන්තර ගැටුම් තමන්ට වාසි සහගත ලෙස හසුරුවා ගත්තද, මාලිමාව සියලු පාර්ශව එකම ගොඩට දමා "සතුරා" ලෙස නම් කිරීම නිසා එම අවස්ථාව අහිමි කරගෙන ඇත.

වැඩපිළිවෙලක් නොමැතිකම: 2/3 ක බලයක් සහිතව වුවද, නීතිමය රාමුවක් තුළ මාධ්‍ය නියාමනය කරනු වෙනුවට, වේදිකාවල "මයික් වලට තට්ටු කරමින්" තර්ජනය කිරීම රජයේ දේශපාලන නොමේරූභාවය පෙන්වන බව මෙහිදී අවධාරණය කෙරේ.

2. මාධ්‍ය හිමිකාරිත්වය සහ පන්තිමය ස්වභාවය

ලිපියෙහි වඩාත් වැදගත් නිරීක්ෂණය වන්නේ මාධ්‍ය හිමිකරුවන්ගේ (දෙරණ, හිරු) පන්තිමය පසුබිම පිළිබඳව කෙරෙන විග්‍රහයයි.

මොවුන් සම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන් නොව, වෙළඳපොළ රේටින්ග්ස් (Ratings) මත ඕනෑම "කුණුගොඩක්" විකිණීමට සූදානම් "විකුණුම් නියෝජිතයන්" පිරිසක් ලෙස හඳුන්වයි.

ජනතාවගේ සැබෑ ජීවන ගැටලු වෙනුවට සංස්කෘතික හා දෘෂ්ටිවාදී මායාවන් මවන මෙම මාධ්‍ය ජාල පාලනය කිරීමට නම් මාලිමාව සතු විය යුතු "න්‍යායික ශක්තිය" ඔවුන් සතු නොවන බව ලිපියේ දැඩි විවේචනයට ලක්වේ.

3. විකල්ප ප්‍රවේශය: සමබිම පක්ෂයේ ස්ථාවරය

ලිපිය අවසානයේ රජයට උපදෙස් දීමෙන් බැහැරව, විකල්ප දේශපාලන ප්‍රවේශයක් යෝජනා කරයි:

නීතිමය නියාමනය: මාධ්‍ය නිදහස සුරකිමින්ම, අසත්‍ය වැපිරීම සහ ජාතිවාදය වැළැක්වීමට විධිමත් නීති සැකසීම.

සංඛ්‍යාත කළමනාකරණය: මහජන දේපලක් වන සංඛ්‍යාත, විවෘත වෙළඳපොළ තුළ විනිවිදභාවයකින් යුතුව හසුරුවන නව ක්‍රමවේදයක් හඳුන්වා දීම.

මෙම ලිපිය මාලිමාවට අනතුරු අඟවන්නේ, මාධ්‍ය මර්ධනය යනු "මයික් වලට තට්ටු කිරීම" නොව, විධිමත් රාජ්‍ය තන්ත්‍රයක් තුළ නීතිමය හා න්‍යායිකව කළ යුතු කාර්යයක් බවයි. මාධ්‍ය විසින් මවන ටෙලිනාට්‍යමය දේශපාලනය තුළ මාලිමාව තවදුරටත් සිරවී සිටියහොත්, ඔවුන් ලබාගත් අතිමහත් ජනවරම අර්බුදයට ලක්වීම වැළැක්විය නොහැකි බව මෙහි මූලික පණිවිඩයයි.

මාධ්‍ය මර්ධනය ; රාජ්‍යය හා මාලිමාව – (සමබිම පක්ෂය)

පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ,කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන සංඛ්‍යාත මහජනයාගේ දේපලක් බව පවසා ඒවා “අසත්‍ය වැපිරීම” පිනිස භාවිතා වෙන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ප්‍රකාශ කරන ලදී.

ඉන් දින කිහිපයකට පසු අමාත්‍ය ලාල් කාන්ත විසින් මාධ්‍ය සාකච්ජාවකදී දෙරණ හා හිරු යන මාධ්‍ය වලට විහිලුවක ස්වරූපයෙන් තරවටුවක් කරන ලදී. මෙය මාධ්‍ය මර්ධනයක් ලෙසින් එක් පසෙකිනුත් අනිත් පසින් කල යුතු කාර්‍යයක් ලෙසත් ප්‍රති-තර්ක ගොඩනැගෙමින් පවතී. ජහමනයා විසින් විධායක ජනාධිපති පුටුවද, පාර්ලිමේන්තුවේ 3/2 බලයද ලබා දුන් ආණ්ඩුවක් මේ ආකාරයෙන් මාධ්‍ය ඉදිරියේ හැසිරීම පිලිබදව අපේ එළැඹුම වෙනස්‍ ය.

ජේ.ආර්. සිය දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ඉදිරියට තැබූ පය කිසිවිටෙක පසුපසට ගත්තේ නැත. හරි හෝ වැරදි  ඔහු බලය ලබාගැනීමට පෙරම සකසා තිබූ සිය න්‍යාය පත්‍රය ක්‍රියා කලා මිස ඊට එරෙහිව නැගී ආ විරෝධය ජේ.ආර්ව පසුපසට තල්ලු කිරීමට සමත් වූවේ නැත.

වැඩසටහනක් සහිතව බලයට පැමිණෙන නායකයෙකු හෝ කණ්ඩායමක් සිය දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන එන විට ඊට එරෙහිව එන බලවේග වල ප්‍රතිවිරෝධතා තමන්ට රිසි පරිදි පාවිච්චි කිරීම අයත් වන්නේ දේශපාලනය තුළටමය. උදාහරණයකට ශ්‍රි.ල.නි.පයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ජේ.ආර්., අනුර බණ්ඩාරනායක හරහා පාලනය කල විට මහින්ද රාජපක්ෂ විමල් වීරවංශ හරහා ජ.වි.පෙ.හි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා පාලනය කලේය.

නමුත් අවාසනාවකට මෙන් ජ.වි.පෙ. විසින් සිය සියලුම පසමිතුරන් එකම මල්ලකට බහා ඇති නිසා ඒවාහි ප්‍රතිවිරෝධතා පාලනය කිරීමේ අවස්ථාව ජ.වි.පෙ. වෙතින් වේගයෙන් මගහැරෙමින් තිබේ. මාලිමාව විසින් දිලිත් ජයවීරට වැඩෙන්නට ඉඩ දුන්නේ නාමල් රාජපක්ෂගේ සිංහල ජාතිකවාදී අනන්‍යතාව දිලිත් ලවා බුල්ඩෝසර් කිරීමේ අභිලාෂයෙන් වුවත් ඒ වැඩීම ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණය ඉක්මවා යමින් තිබේ. මාලිමාවේ ප්‍රතිවිරෝධතා පාලනය කිරීමේ කලාපය වැසී ඇත්තේ ජන විඥානයේ පැලපදියම් වූ ජන විඥානය මත පදනම් වු අදහස් වලින් මිස න්‍යායික පසුබිමකින් නොවේ. ලාල් කාන්ත මයික් වලට තට්ටු කරමින් කරන සෙල්ලම තුළ ගැබ්වී ඇත්තේ මේ මරිමෝඩ කම මිස වෙනත් කිසිවක්ද නොවේ.

පාර්ලිමේන්තුවේ බලය පූර්ණ වශයෙන් හිමිව තිබියදී මයික් වලට තට්ටුකිරීමෙන් පලක් නැත. කල යුත්තේ නව නීති සම්පාදනය කරමින් ඒවා මගින් මාධ්‍ය නියාමනය කිරීමයි. විනෝදාස්වාදය නැමැති කැටගැරි එක නිදහස්ව තබාගැනීමට ඉඩදෙමින් ජාතිවාදය, වර්ගවාදය හෝ අසත්‍ය ප්‍රවෘත්ති පල කිරීම නියාමනයට අවශ්‍ය නීති සකස් කිරීමයි. එපමණක් නොව චෝදනාවට ලක් වන එක නාළිකාවක හිමිකරුවකු එහි අයිතිය ලබා ගෙන ඇත්තේම මංකොල්ලයක් හරහාය.

මාලිමාව අසමත්වන ස්ථානයේ නිලය ඇත්තේද මෙතැනය. කිසිදු වැඩපිලිවෙලක් නොමැතිව මිනිසුන්ගෙන් බලය ලබාගැනීම පිනිස දෘෂ්ටිවාදයක් ලෙස හසුරවනු ලැබූ අදහස්ම ආපිට එමින් තිබීම මාලිමාව සලිත කර තිබේ. ආණ්ඩුවේ මාධ්‍ය වරණය කෙරෙහි වන අදහස සම්බන්ධ වන්නේ සිය වැඩ පිලිවෙලේ අංගයක් ලෙස නොව මේ මාධ්‍ය මගින් ආපිට එන භූමරංගය මැඩලීම මුල් කරගෙනය. වැඩපිලිවෙලක් තිබුනානම් බලය ලබාගත් වහාම ක්‍රියාත්මක කිරීමට තිබූ මාධ්‍ය නියාමනය වසරකින් පසු කලබලයෙන් සිහිවීම යට ඇත්තේ මේ අරමුණ බව පැහැදිලිය. මේ අය සිතාගෙන සිට ඇත්තේ රෙනෝ සහ දිලිත් වඩාගෙන නළවන බබාලා ලෙසින්ය. අනාගත ඩිජිටල් ව්‍යාපෘතිය මේ අයට බඩ විරේකයක් විය හැකි මුත් සංස්කෘතික තලයේ හොඳ උත්තරයක් නොවේ.

දිලිත් හෝ රෙනෝගේ ඔය චැනල් වල සිටින සොරුන් සහ ගැටකපන්නන් දන්නා දේශපාලනයක්ද නැත. මේ සියලුම දෙනා සිය ආයතනයන්හි රේටින්ග්ස් වැඩිකිරීම පිනිස ඕනෑම කුනුගොඩක් විකිණීමට සූදානම් සේල්ස් රෙප්ලාය. මේ මාධ්‍ය මත පදිංචි වී සිටි මාලිමාවටම ඒවා හිසරද බවට පත්වීම අපිට අනුව “තොපිට හොද වැඩේය”. මාධ්‍ය මත පදනම්ව  මේ යුගයේ කරන දේශපාලනය යනු මෙගා ටෙලි නාට්‍යයකි. ස.ජ.බ. නලුවා මුජිබර් රහුමාන් වන විට සජිත් ප්‍රේමදාස යනු ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකි. ඊට අමතරව රෙනෝට සහ දිලිත්ට මැඩවිය හැකි අම්බරුවෙකි.

මාධ්‍ය මත අතිපිහිත වීම බලය ලබාගැනීමේ මාර්ගයක් වශයෙන් පැවතීම යථාර්තය සමඟ සමපාත කිරීම ඓතිහාසික වරදකි. දෙරණේ හෝ හිරුගේ හෝ මතුකරන මෝඩ විහිලු යනු ජහමනයාගේ ඇත්ත ජීවන ගැටලු නොවේ. එය පාදඩකරණයේම දිගුවකි. තිරයක මවන යථාර්තයක් වෙනුවෙන් තිරයක් සමඟ සටන් කිරීම මේ යුගයේ ඇත්තටම පවතින ගැටලු මගහැරීමේ තාක්ෂණයයි. ජහමනයා සිය ඇත්ත ජීවන ගැටලු වෙනුවට බදාවැලඳගෙන ඇති සියලුම අගතීන් ප්‍රති-නිෂ්පාදනය කරන්නේ මේ සමකාලීන මාධ්‍ය විසිනි. ආර්ථික ගැටලු සංස්කෘතික ගැටලු බවට හරවන්නේ මොවුන්ය. මනුෂ්‍යයන්ගේ අගතීන් වලට වැරයොදා පහරදීම හැර මේ යුගයේ දේශපාලනය යනු ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීම පමණය. නලින්දට හා ලාල්ට ටෙලිනාට්‍ය නලුවන්ට වඩා කිසිවක් මින් පසු කරන්නට ලැබෙන්නේ නැත.

අපිට මේ කිසිදු මාධ්‍යයකින් ඉඩ නොලැබීම දේව ආශිර්වාදයකි. අපි ජහමනයාගෙ අගතීන් පිරි විනෝදය විවේචනය කරන්නේ අපි කරන්නේ දේශපාලනය නිසාය. අපේ දේශපාලන වැඩසටහනේ එක් අංගයක් වන්නේ මේ මාධ්‍ය නියාමනය කිරීමයි. නැතිනම් අයිතිය වෙනස් කිරීමයි . එහම් සංඛ්‍යාත ලබාගැනීම විවෘත වෙළඳපොල වෙත නැවත කැදවීමයි.

අපි මාලිමාවට කිසිම විටෙක උපදෙස් දෙන්නේ නැත. ධම්මික පෙරේරාව හා ඉෂාර නානායක්කාරව පාලනය කිරීමට මාලිමාව සමත් නම් දිලිත් ජයවීරව හා රෙනෝ සිල්වාව පාලනය කිරීමටද ඔවුන්ට හැකිවිය යුතුය. විස්කි බොන ස්ථාන වල ගල් අරක්කු බීම නොකල යුතුය.”පංතිය” යනු ශරීරයේ සලකුණු වූ කැපුමකි. පාදඩයන් ලෙස කොළඹ වැදගත් තැන් වලට රිංගා ගත් දිලිත්ලා සහ රේනෝලා රංජිත් විජ්වර්ධනලා නොවේ. ඔවුන් කැලලේ කට මැසිය හැකි වන්නේ න්‍යායෙන් පමණි.

Latest Posts

spot_imgspot_img