Sunday, December 21, 2025
spot_img

Latest Posts

විපක්ෂයක් වීම  අපිට  පුරුදු ද?

ටිකිරිගේ විපක්ෂ කොළම  2 කොටස.


විපක්ෂ කොළමෙන් අපි පසුගිය සතියේ කතා කලේ ප්‍රජාතනත්රවාදයක් තුල විපක්ෂයක වැදගත් කමය.ශ්‍රී ලංකාවේ ඉතිහාසය 1815 වන තුරුම රාජාණ්ඩු ක්‍රමයකට සුදානම් වී තිබුණි. ඒ තුල යම්තාක් දුරකට ප්‍රජාතන්ත්‍ර ක්‍රමයක් පැවති  බවට ප්‍රාදේශීය රාජ්‍ය සංකල්පය සාක්ෂි දරයි. දස රාජ ධර්මය,සප්ත අපරහානිය ධර්මය හා සතර සංග්‍රහ වස්තු ශ්‍රී ලාංකේය රාජ්‍ය සංකල්පයේ රජතුමා විසින් සම්පුරණ කල යුතු ධර්ම හැටියට සාම්ප්‍රදායක් වෙයි. එහෙත් එය ස්ථිර වශයෙන්ම රාජාණ්ඩු ක්‍රමයක් ය. එවැන්නක විපක්ෂයක් නැත.

ශ්‍රී ලංකා රාජාණ්ඩුවල පාලන ක්‍රමයේ  දස රාජ ධර්මය හා සතර සංග්‍රහ වස්තු ක්‍රියාත්මක වුයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම  හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක මුලික හරයන් හැටියටය. මේවා ඉතා දියුණු රාජ්‍ය පාලනයක එංගලන්තයේ මෙන් අලිඛිත රීතින් හෝ නීතීන් ලෙස හැඳින්විය හැකිය.ස්ථිර  ලිඛිත නීතීන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ශ්‍රී ලංකාවට ආරෝපණය වන්නේ 1505 දී සිදුවූ පෘතුගීසි ආගමනය හා ක්‍රමිකව ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම බිහි වීමත් සමගය.

පෘතුගීසින් , ලන්දේසීන් විසින් ක්‍රමිකව නොවූ වෙනස් කම් කලද   ඉංග්‍රීසින් විසින් පැවති  රාජ්‍යත්වය යටපත් කර වෙස්මිනිස්ටර් ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන  ලදී. එතෙක් පැහැදිලි විපක්ෂයක් නොතිබූ රාජ්‍ය ක්‍රමය විපක්ෂයක් ඇතිව සිදුකරනු ලබන රාජ්‍ය ක්‍රමයක් දක්වා වර්ධනය වන්නේ 1922 දී හඳුන්වා දෙන 27 දෙනකුගෙන් යුතු ව්‍යවස්ථාදායක සභාව ත් සමගය. ඒ පාලන කාලය ශ්‍රීමත් විලියම් හෙන්රි  මැනිං ආණ්ඩුකාර වරයාගේ පාලන කාලය විය. එහිදී මහජන නියෝජිත සභාවක් පිහිටුවන ලදී.  එය  ව්‍යවස්ථා සභාවක් වුවද නිළ විපක්ෂයක් එහි නොවීය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සමාජය හා  ජනතා එකතුවීම් තුල පැහැදිළි විපක්ෂයක් ගොඩ නැගී තිබුණි.එහෙත් සීමිත චන්ද බලයකින් ව්‍යවස්ථාදායක සභාවට පත් වුයේ බොහෝ විට වත්කම් පැවති අයය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂ අයය.එය ජනතාව පාලනය කිරීමට යොදාගත් උපක්‍රමයක් විනා විපක්ෂ අදහස් වලට ඉඩක් තිබුණා යැයි අනුමාන නොකළ හැකි ව්‍යුහයකි.

ඉතිහාසයට අනුව ඒ   දක්වාම  ශ්‍රී ලංකාව තුල වසර දහස් ගණනක ඉතිහාසයේ  තිබුණේ නිල විපක්ෂ වීම් හෝ නිළ විපක්ෂයක් නොව රාජාණ්ඩුවට එරෙහිවන ,ප්‍රතිපත්ති වලට එරෙහි වන කැරලි කරුවන් හෝ කුමන්ත්‍රණ ලෙස හැදින්වෙන රාජ්‍ය බලය අල්ලා ගැනීමේ මෙහෙයුම් පමණි. ඒවාද සිදුවුයේ පිය පුතු.ඥාති බලවේග වල එකතු වීම් තුල ගත් නායකත්වයන් තුල මිස ජනතාව ගේ ඒකරාශී වීම් මත නොවේ.

 ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍ර වාදයේ බටහිර .. විපක්ෂ වීම යන සංකල්පය වසර 95 ක  ඉතිහාසය පුරා අභ්‍යාස කල එකක් නොවේ. එලෙසම සර්ව ජන චන්ද බලය ලබා දීම ගැන 1931 දී ගෙන ආ  ඩොනොමෝර් ප්‍රතිසංස්කරණ වලදී  ඒ අවදියේ  අදහස් දැක්වූ  බ්‍රිතාන්‍ය විද්වතුන්  නොවිය යුත්තක් ලෙසට අර්ථ දැක්විණි. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයක් තුල ක්‍රියාත්මක වීමට තරම් දේශපාලන සාක්ෂරතාවයක් හා මානසික ,ආර්ථික පසුබිමක් ශ්‍රී ලාංකීය ජාතියට 1930 වන විට දක්නට නොලැබීමයි. නිදහස් සටනට දායක වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැනි ශ්‍රී ලාංකික ජාතික නායක චරිත පවා මේ විවාදයේ ගත් ස්ථාවරය වුයේ සර්වජන චන්ද බලයට එරෙහි වීමයි.

සර්වජන චන්ද බලයට එරෙහි ව ඇති වූ මතවාද වල තිබු “තිත්ත ඇත්ත”  එයින් වසර 95 ක් ගතවන මොහොතේත් ශ්‍රී ලංකාව අත් විඳිමින් සිටි.සාර්ථක ප්‍රජාතන්ත්‍ර වාදයක් බිහි කර චන්ද බලයේ අයිතිය ට වටිනාකමක් එක් කිරීමට ශ්‍රී ලංකාවට අද වන විටත් නොහැකි වී ඇත.  ශ්‍රී ලංකාව මේ වසර 95 පුරාම ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුක්‍රමයකට අනුව බාහිරින් ක්‍රියාත්මක වුවද රාජාණ්ඩු ලක්ෂණ වැඩිපුර දක්නට ඇති රටකි. සර්වජන චන්ද බලය සංවාදය එදා ආණ්ඩු කිරීමට පමණක් අදාළ වූ දෙයක් නොවේ. විපක්ෂයේ කාර්ය භාරයට ද එය එලෙසම අදාලය. ආණ්ඩු කිරීම හා ආණ්ඩු අසාර්ථක වූ විට ආණ්ඩු භාර ගැනීම හා ආණ්ඩුව සුමග යැවීම හා ආණ්ඩුව ජනතාවට හානි කර විට පෙරලා දැමීම යන කරුණු 1960 දශකයෙන් පසු ප්‍රජාතන්ත්‍ර ආකාරයෙන් සිදු වුවා යයි  අනුමාන කල නොහැක.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  විධායක ජනාධිපති ධුරය හා මැතිවරණ ක්‍රමය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කර ඇති සංශෝධන මතින් ප්‍රභල ආණ්ඩු බිහි වීම හා විපක්ෂය දුර්වල වීමේ නව ප්‍රවණතා බිහි වී තිබේ. සුළුතර ජනාධිපති වරයෙක් පත් වුවද  කේන්ද්‍ර වී ඇති විධායක බලය නිසා ජනාධිපතිට අධික බලයක් ක්‍රියාත්මක කල හැකිය. ඔහුට හෝ ඇයට  අක්‍රියව ද සිටීමෙන් තම බලය අභ්‍යාස කල හැකිය. ඊට සාපේක්ෂව ඔහුට ධුරය දරන කාලයේදී ඇති නඩු පැවරීමට නොහැකියාව තුල විපක්ෂය රාජාණ්ඩුවක ට එරෙහිවන්නන් ලෙස දැකිය හැකිය. එසේ ක්‍රියාත්මක වෙමින් විපක්ෂ මතවාද රාජ්‍ය උපකරණ වන පොලීසිය හමුදාව.රාජ්‍ය හා හිතවත් මාධ්‍ය බාවිතා කරමින් මර්දනය කළ හැකි අතර සීමා කල හැකිය. මේ ආණ්ඩු කිරීමේ නව ප්‍රවණතා ශ්‍රී ලංකාවේ විපක්ෂය බෙහෙවින්ම දුර්වල කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව ,ප්රජාතන්ත්රවාදය. සර්වජන චන්ද බලය හා ආණ්ඩුකරණය, මෙන්ම විපක්ෂයේ කාර්ය භාරයද තුලනය වූ  රටක් නොවේ. වසර 95 ක් වන ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුක්‍රමයක් තුල ආණ්ඩුකිරීමේ දුර්වලතා වලට සාපේක්ෂව විපක්ෂය ලෙස ක්‍රියාකිරීමේ දුර්වලතා ද  රාශියක් පවතී. ආණ්ඩු කිරීමේ ඒකාධිපති ස්වභාවයට සාපේක්ෂ විපක්ෂය මර්දනය කිරීම් ද පවතී. දියුණු ප්‍රජාතන්ත්‍ර ක්‍රමයකට යා හැක්කේ දියුණු ලෙස එය අභ්‍යාස කිරීමෙන් චාරිත්‍ර ගොඩ නැගීමෙනි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහය තුල පරික්ෂාවන්  හා තුලනයන්  (checks and balances) සාර්ථකව ක්‍රියාත්මක නොවන බව වටහා ගත හැකිය. එවැනි විටකදී විපක්ෂය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මේ මොහොතේ සෑහීමකට පත් විය නොහැකිය.

විපක්ෂය යනු පාර්ලිමේන්තුවේ පමණක් විපක්ෂ අදහස් දැරීම නොවේ. නැතහොත් ආණ්ඩුව කල යුතු දේ කර ආණ්ඩුවේ වගකීම තමා වෙත පවරාගනිමින් හැසිරීම නොවේ. විපක්ෂය යනු තම  මතවාදය තියුණු ලෙස ආණ්ඩුවට ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුව සමග  කරට කර ජනතා මතය වෙනුවෙන් පෙනී සිටින රටක  දෙවෙනි ආණ්ඩුවයි. එංගලන්තයේ විපක්ෂය හඳුන්වන්නේ ” රජතුමාගේ දෙවෙනි ආණ්ඩුව ලෙසය” ශ්‍රී ලංකාවේ එවැනි හැඳින්වීමක් ප්‍රයෝගිකව ඉදිරිපත් වූ අවස්තාවක් 2022 අරගලයෙන් පසු බිහි වුවත් එලවා දැමු  ආණ්ඩුවම  තමන් විසින් ජනාධිපතිවරයෙක් පත්කරගෙන ආණ්ඩු කරන තැනට පත් වුයේ විපක්ෂය  තම කාර්ය භාරය නිවැරදිව  භාර නොගත් නිසාය.

අද කොළමට  අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍ර වාදයක දියුණු ලක්ෂණ ගොඩ නගා ගැනීමට ආණ්ඩු හා විපක්ෂ යන කොටස් දෙකටම වගකීම පවතී. ව්‍යසනයෙන් පසු විපක්ෂ බලවේග කරනුයේ ආණ්ඩුවේ කොටස කිරීමට පාරට බැස  තිබීමය. සුබ සාධනය හා ගෙවල් සැදීම විපක්ෂයේ සීමාව ඉක්මවා කරමින් ආණ්ඩුව හුරතල් කිරීමක් සිදුවන බව පෙනේ. මන්ත්‍රීන් 159 ක් සහිත අධිකතර පාර්ලිමේන්තු සංයෝජනය හා විධායක ජනාධිපති ඉන්නා ආණ්ඩුවක ,ආණ්ඩුවේ කාර්යභාරය විපක්ෂය කිරීමෙන් විපක්ෂය විපක්ෂයේ වගකීම පැහැර හැර තිබේ.  ඒ වගකීම් ගනිමින් අනෙක් අතට විපක්ෂය ආණ්ඩුව ශක්තිමත් කරමින් සිටී.

විපක්ෂය දැන්වත් විපක්ෂය විය යුතුය. ලබන සතියෙත් ටිකිරිගේ කොළමෙන් හමුවෙන තුරු දැනට නවතිමි.

(මතු සම්බන්ධයි).

ටිකිරි සුභාෂිණි විෆ්ලර්

නීතිවේදිනි , අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)

විධායක අධ්‍යක්ෂිකා– ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය)

Latest Posts

spot_imgspot_img