ප්‍රජාතන්ත්‍රවාදයක විපක්ෂය.
වර්ෂ 2019-2020 තුල බිහිවූ පාර්ලිමේන්තුව තුනෙන් දෙකක බහුතරයක් සහ විශාල බලයක් සහිත ජනාධිපති වරයෙක් බිහි කරන ලදී. ජනතාව විසින් විපක්ෂයේ කාර්ය භාරය පවරාගෙන එම රජය පෙරලා දමමින් ඒ හා සමානම බලයක් සහිත ව එහෙත් තුනෙන් දෙකක් නොවන ආණ්ඩුවක් හා මැතිවරණයකින් නොව නිලවරණයකින් පත් කල ජනාධිපති වරයා සහ විපක්ෂයක් සහිතව 2024 නොවැම්බර් වන තුරු එම ජනමතය පවත්වාගෙන යන ලදී. එය ව්‍යවස්ථාපිත බලය අභ්‍යාස කිරීමක් වූ අතර එයින් පසු 2024 අග භාගයේ බිහිවන්නේ සුළුතර ජනාධිපති කෙනෙකු වන අතර බහුතර බලයක් වන තුනෙන් දෙකක් සහිත පාර්ලිමේන්තුවකි.
ශ්‍රී ලංකාවේ විපක්ෂය පිට පිටම දෙවරක් ම දුර්වල නියෝජනයක් සහිතව පාර්ලිමේන්තුව නියෝජනය කරන මොහොතක ලංකාවේ විපක්ෂ දේශපාලනය ගැන විවරණයක් මේ කොළම තුලින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. ප්‍රවිෂ්ටයක් ලෙස විපක්ෂ දේශපාලනය හා එහි වැදගත් කම ප්‍රජාතන්ත්‍රවාදය තුල වැදගත් වන ආකාරය කථා බහ කල යුතු යයි සිතුවේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල විපක්ෂ මතවාදය අවශ්‍ය නැතැයි යන්නට නව ප්‍රවණතාවක් ගොඩ නැගී තිබෙන නිසාය. එසේ එවන් මතවාදයක් ගොඩ නැගීමට ඇති විවිධ හේතුන් මේ කොළමේ මතු දිනක කතා කිරීමට අපේක්ෂා කරමි.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ විපක්ෂයේ භූමිකාව.
සෑම ප්‍රජාතන්ත්‍රවාදයකම, විපක්ෂය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහි ප්‍රධාන අදහස අරමුණ වන්නේ වන්නේ රජය ජනතාවට වගවීම, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, බලය අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම, විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සහ සමාජයේ විවිධ හඬවල් නියෝජනය කිරීමට ඇති ඉඩකඩ ආරක්ෂා කිරීමයි.
ක්‍රියාකාරී විපක්ෂයක් නොමැතිව, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල, අසමතුලිත සහ ඒකාධිපතිවාදයට ගොදුරු විය හැකිය. මේ බව ලෝකයේ හා ලංකාවේ අතීත උදාහරණ තුල වටහා ගත හැකිය. ප්‍රජාතන්ත්‍ර රාජ්‍යයක විරුද්ධ පක්ෂයේ භූමිකාව හා වටිනාකම ගැන ඉතිහාසය පුරාම, බොහෝ ශ්‍රේෂ්ඨ චින්තකයින් අවධාරණය කර ඇත.
තෝමස් ජෙෆර්සන් අපට ප්‍රකාශ කළේ “නිදහසේ මිල සදාකාලික සුපරීක්ෂාකාරීත්වය” බවයි, පුරවැසියන් සහ විපක්ෂය නිරන්තරයෙන් බලයේ සිටින අය දෙස අවධානයෙන් හෙවත් සුපරික්ෂාකාරී ලෙස බලා සිටිය යුතු බව එයින් අදහස් වේ.
“බලය දූෂණයට නැඹුරු වන අතර නිරපේක්ෂ බලය නියත වශයෙන්ම දූෂණය සිදු කරයි” යනුවෙන් ඇක්ටන් සාමිවරයා අනතුරු ඇඟවීය, එය ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වන්නේ මන්දැයි මතක් කිරීමකි. එනම් ප්‍රජාතන්ත්‍ර ක්‍රමයක් තුල පරික්ෂාව හා තුලනය (checks and balances) අත්‍යවශ්‍ය බවයි.
එසේම විකල්ප අදහස් ඉදිරිපත් කිරීම තුලින් විපක්ෂ කාර්ය හා මතවාදය ප්‍රජාතන්ත්‍ර ක්‍රමයක් වෙනුවෙන් දරන ප්‍රගතිශීලි දායකත්වය ගැන ද අදහස් පලවී තිබේ. ඒවා අතර “සෑම කෙනෙකුම එක හා සමානව සිතන්නේ නම්, යමෙකු සිතන්නේ නැත.” යන ජෝර්ජ් එස්. පැටන් ගේ අදහස විපක්ෂ චින්තනය නව අදහස් ගෙන එන බවට අවධාරණය කරයි.
“නිදහස යනු මිනිසුන්ට ඇසීමට අකමැති දේ පැවසීමේ අයිතියයි.” යනුවෙන් වරක ජෝර්ජ් ඕවල් පැවසීය.ඕනෑම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් කරන්නේ එවැනි කටයුත්තකි. ආණ්ඩු බලය දරණ බහුතරයක් ඇසීමට අකමැති එහෙත් තිත්ත ඇත්ත ආණ්ඩුවක් නිසා මග යැවීමට සමත් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදයක විසම්මුතියේ හෙවත් විරුද්ධ මත දැරීමේ වැදගත්කම තෝමස් ජෙෆර්සන්ට අනුව නම් දේශප්‍රේමයයි.ඔහු පවසා ඇත්තේ “විසම්මුතිය යනු දේශප්‍රේමයේ ඉහළම ආකාරයයි.” වශයෙනි. එහි ගැඹුරු අදහස නම් විපක්ෂය රටක් ශක්තිමත් කරන බවය.
ආසියාවේ දේශපාලනයේ වැදගත් යුගයක් නියෝජනය කල ශ්‍රීමත් ජවහර්ලාල් නේරු ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමක් ලෙස විරුද්ධත්වය සලකනු ලැබුවේය. “ප්‍රජාතන්ත්‍රවාදයේ සාරය විවේචනයයි.” වශයෙන් ඔහු ප්‍රකාශ කරන ලදී. එයින් කියවෙන්නේ විපක්ෂය අත්‍යවශ්‍ය බවයි , එය විකල්පයක් හෝ විකල්ප බලවේගයක් නොව විපක්ෂයකි.
“වංචාව රජයන කාලයකදී, සත්‍යය පැවසීම විප්ලවීය ක්‍රියාවකි.” වශයෙන් ජෝර්ජ් ඕවල් පවසා ඇත. ප්‍රජාතන්ත්‍ර වාදයක විපක්ෂය බොහෝ විට මෙම කාර්යභාරය ඉටු කරන්නේ නම් , එනම් ආණ්ඩු පක්ෂය රාජ්‍ය බලය බාවිතා කරමින් කරනු ලබන දුෂණ වංචා හෙළි කිරීම විපක්ෂයේ කාර්ය භාරයයි. මේ වැනි කාලයක් අපිට මෑත අතීතයේ සිහිපත් විය යුතුය. වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කරන ලද එවැනි හෙළිදරව් ජනතාව සැලකුවේ විප්ලවීය ප්‍රගතිශීලි ක්‍රියාවන් ලෙසය. ඔවුනට බලය ලබා දීමට එය හේතු වුවත්,ආණ්ඩු බලය ලැබීමෙන් පසු බාවිතාව තුල ඒ විපක්ෂ යේ සිටියදී මතු කල කරුණු ප්‍රයෝගික නොවන බවට ප්‍රත්‍යක්ෂ වී ඇත.
“අරගලයක් නොමැති තැන ප්‍රගතියක් නොමැත.” යනුවෙන් ෆ්‍රෙඩ්රික් ඩග්ලස් ප්‍රකාශ කර ඇත. ප්‍රජාතාන්ත්‍රික සමාජවලට විරුද්ධත්වය අවශ්‍ය වන්නේ ඇයි දැයි යන්න සිතා බලන විට විරුද්ධත්වයේ අභියෝග හරහා ප්‍රගතිය නිර්මාණය කරන බවට ප්‍රංශ විප්ලවය 1917 රුසියානු විප්ලවය සාක්ෂි දරයි. මෙම රටවල විප්ලවයන් ලෝකය වෙනස් කල අතර ඒ වෙනස්කම් වෙනුවෙන් මුලික කැපකිරීම් සිදු වුයේ විපක්ෂ දේශපාලන මතවාද දැරූ පුද්ගලයන් විසින් බව අමතක කල යුතු නැත. ශ්‍රී ලංකාවද මේ ආරම්භ කර ඇත්තේ එවන් ප්‍රති නිර්මාණයක ආරම්භයකි. ඒ ප්‍රතිනිර්මාණය වෙනුවෙන් කොතරම් මිනිසුන් පෙළ ගැසී සිටින්නේද යන්න පසුගිය මැතිවරණ දෙකේදීම බාවිතා නොකළ චන්ද ප්‍රමාණයේ වැඩිවීම ප්‍රකාශ කරයි. එම චන්ද දායකය චන්ද පොලට නොයාම ශ්‍රී ලංකාවේ දේශපාලනය ප්‍රතිනිර්මාණය විය යුතු බවට ප්‍රභල විපක්ෂ අදහසක් දරයි.
මූලිකවම ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ විපක්ෂයක් තිබීම කෙතරම් ජනහිත කාමී දැයි අප වටහා ගත යුතුය. ඒකාධිපතිවාදයන් ලොව තුල ප්‍රතික්ෂේප වෙමින් පැවතියද තුන් වන ලෝකයේ රටවල තවමත් විපක්ෂය මර්දනය වීම් පවතී. ආසියානු දේශපාලනයේ එය විශේෂ ලක්ෂණයක් වේ. බොහෝ විට රටේ පොලිස් ව්‍යුහය, අධිකරණ ක්‍රමවේදය හා රාජ්‍යයට පක්ෂ මාධ්‍ය යොදාගෙන විපක්ෂයේ දේශපාලනය මර්දනය කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ නම් විපක්ෂය ආරක්ෂා විය යුතුය. විපක්ෂයේ අයතීන් ජනතාව තේරුම් ගත යුතුය.
වඩාත්ම වැදගත් ම කරුණ වන්නේ විපක්ෂයේ වගකීම හා කාර්යභාරය විපක්ෂ බලවේග විසින් වටහාගත යුතු වීමයි.
(මතුසම්බන්ධයි).

ටිකිරි සුභාෂිණි විෆ්ලර්
නීතිවේදිනි , අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)
විධායක අධ්‍යක්ෂිකා- ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය)



