Thursday, December 18, 2025
spot_img

Latest Posts

කබ්රාල් නිදහස් ද?

චතුරංග අමරතුංග විසිනි.


ග්‍රීක බැදුම්කර සිදුවීමට අදාල මහාධිකරණ නඩු කටයුත්තෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩි කබ්රාල් මහතා ඇතුළු චූදිතයන් නිදහස් කිරීමට ඊයේ දින කොළඹ මහාධිකරණය කටයුතු කලා..

මුලින්ම රටේ වගකිව යුතු මාධ්‍ය ඒ පුවත වාර්තා කලේ කබ්රාල් නිදොස් කොට නිදහස් කරා කියල..

ඒ පුවත ප්‍රචාරය වීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කලා චුදිත පාර්ශ්වයේ ඉල්ලීම පැමිණිලිකාර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සලකා බලා කොන්දේසි සහිතව නිදහස් කිරීමක් පමණක් සිදුකර ඇති බව..

ඒ කොන්දේසිය තමයි අධි චෝදනාවේ සඳහන් මුදල නඩුව ඉල්ලා අස්කර ගත් දින සිට මාස 03 ක් ඇතුළත වන්දියක් ලෙස මහ බැංකුවට ගෙවීමට එකඟවීම..

පිරිසක් කියනවා නඩුව අයින් කරගන්න කලින් ගෙවන්න කියල , ගෙව්වට පස්සෙ නඩුව අයින් කරගන්න තිබ්බනෙ කියල. දැන් නොගෙව්වොත් මොකද කරන්නෙ කියල ඔවුන් ප්‍රශ්න කරනවා..

තවත් පිරිසක් කියනවා ඔහොම ගියාම ඕන එකෙක් හොරකම් කරල ඒක ආයෝජනය කරල , ඒකෙන් හම්බ කරලා , පොලී උපයල නඩු දැම්මම ගෙවන්නම් කියල නඩුව අයින් කරගෙන ගෙවයි කියල..

ඇත්තෙන්ම ඔය විදිහට කියන පිරිස නඩුවේ සිද්ධිමය කරුණු දන්නෙත් නෑ. ඊට අදාල නෛතික තත්ත්වය දන්නෙත් නෑ..

මුලින්ම කියන්න ඕනි කබ්රාල් ඇතුළු පිරිසට නඩු දාන්නෙ ග්‍රීක බැදුම්කරවලින් රජයට කෝටි 184 ක් පාඩු කිරීමට එරෙහිව. ඒ කෝටි 184 කබ්රාල් හෝ වෙන කෙනෙක් අරගෙන නෑ. එහෙම ගත්තනම් සාපරාධි සාවද්‍ය පරිහරණය , අනීතික ලෙස ඉපයීම වගෙ චෝදනා දාන්න ඕනි. ඒ හින්දා කෝටි 184 කබ්රාල් තියාගෙන මුදල් ඉපයීමක් කරා කියන කතාව අසත්‍යයි. චෝදනා පත්‍රයේ විදිහට රජයට පාඩුවක් කරා මිස ඒ මුදල් කබ්රාල් අරගෙන නෑ. ඒ හින්දා ඒවා රාජපක්ෂල ලග තියෙන්න විදිහකුත් නෑ..

දැන් හැමෝම කතාවෙනවනෙ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නඩු කටයුතු ඉල්ලා අස්කර ගැනීමට ඇති බලය ගැන. නඩු ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සඳහන් වෙන්නෙ දූෂණ විරෝධී පනතේ 67 (1) , (2) හා (3) වගන්තිවල. 67 වගන්තිය අනුවගන්ති එක්කම ඒ ආකාරයෙන්ම සඳහන් කරන්නම්. එතකොට ඔබට පහසුවක් වෙයි..

67 (1) මේ පනත යටතේ වරදක් හෝ ඊට වැඩි වැරදි ගණනක් සිදුකර ඇති බවට අධි චෝදනා ලබා ඇති තැනැත්තෙකුට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ නඩු තීන්දුවක් ලබාදීමට පෙර කවර හෝ අවස්ථාවක අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කොමිෂන් සභාවේ අනුමතය සහිතව (2) වන උප වගන්තියේ නිශ්චිතව දක්වා ඇති කරුණු නිසි සැලකිල්ලට ගනිමින් සහ (3) වන උප වගන්තියේ සඳහන් කරන ලද කොන්දේසි එකක් හෝ ඊට වැඩි ගණනකට යටත්ව මහාධිකරණයේ අවසරය මත ඒ චූදිතයාට එරෙහිව වන අධිචෝදනාව ඉල්ලා අස්කරගනු ලැබිය හැකිය.

(2) අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් (1) උප වගන්තිය යටතේ අධි චෝදනාවක් ඉල්ලා අස්කර ගන්නා අවස්ථාවක දී ඔහු විසින් –

¡ ) ජාතික යහපත සහ පොදු යහපත

¡¡) වරදෙහි වින්දිතයන්ගේ අදහස් සහ

¡¡¡) චූදිත තැනැත්තා හෝ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් කළ හැකි ඉදිරිපත් කිරීම්

පිළිබඳ නිසි සැලකිල්ල යොමු කල යුතුය..

3) අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් (1) වන උපවගන්තිය යටතේ අධි චෝදනාවක් ඉල්ලා අස්කර ගන්නා විට , නියමිත කාලසීමාවක් තුළ ඉටු කළ යුතු පහත දැක්වෙන කොන්දේසිවලින් එකක් හෝ කිහිපයක් චූදිතයා මත පැනවියය හැකිය.-

(¡) කොමිෂන් සභාව විසින් නිකුත් කළ පාඨයක් භාවිතා කරමින් මහාධිකරණය ඉදිරිපිට දී ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කර සමාව ගැනීම.

(¡¡) කොමිෂන් සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන පරිදි වරදේ වින්දිතයන්ට වන්දියක් ගෙවීම

(¡¡¡) මේ පනත යටතේ වරදක් සිදු කිරීමෙන් ඔහු වැළකෙන බවට ප්‍රසිද්ධියේ භාර ගැනීම හෝ.

( #) තෝරා පත් කරන ලද සහ පත් කරන ලද යන දෙයාකාරයේ රජයේ නිලයන් දැරීමෙන් ස්ථිරවම වැළකෙන බව.

===================================

මුලින්ම ගෙවල පස්සෙ නඩුව අයින් කර ගත්තනම් හොඳයි නේද කියන අය කියවන්න 67 වගන්තිය. ඒ වගන්තිය අනුව නඩුව අයින් කරගත්තට පස්සෙ තමයි වන්දිය ගෙවන්න පුලුවන් වෙන්නෙ. නඩුව ඉවත් කරගැනීමට කලින් ගෙවන ප්‍රතිපාදන දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ නෑ..

තවත් පිරිසක් කියල තිබුණා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නඩු ඉල්ලා අස්කර ගැනීමේ අභිමතානුසාරී බලයක් තියෙනවා කියල. එහෙම එකක් නෑ. ඔහුට ඒ සඳහා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි (2) උප වගන්තියේ නිශ්චිතව දක්වා ඇති කරුණු නිසි සැලකිල්ලට ගන්න ඕනි. එයත් ප්‍රමාණවත් නෑ. (3) වන උප වගන්තියේ සඳහන් කොන්දේසි එකක් හෝ වැඩි ගණනකට යටත්ව මහාධිකරණයේ අවසරය මත තමයි අධිචෝදනා ඉල්ලා අස්කර ගන්න පුලුවන්..

===================================

මම ඕක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මේ සටහන ලියන චතුරංග අමරතුංග වන මම රජයේ තනතුරක් දරමින් ටෙන්ඩර් මණ්ඩලයක සභාපති වෙනවා. යම් ටෙන්ඩරයකදි අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර , එසේ නොකිරීමට අනෙක් සාමාජිකයන් පොළඹවා ටෙන්ඩර්‍ය කාටහරි දෙනවා. ඒකෙන් රජයට මිලියන 100 ක් පාඩුයි. හැබැයි මම ඒකෙන් සතයක මුදලක් ගන්නෙ නෑ. ඒ පාඩුව වෙනුවෙන් මට නඩු දාන්නෙ රජයට රු මිලියන 100 පාඩු කරා කියල මිසක් සාපරාධි සාවද්‍ය පරිහරණයට හෝ අනීතික ඉපයීම්වලට නෙවෙයි..

නඩු දැම්මම අල්ලස කොමිෂන් සභාවට මම කියනවා මිලියන 100 ගෙවන්න කැමතියි. ඒ ගැන සලකා බලන්න කියල. ඊට පස්සෙ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් එය අනුමත කරන්න ඕනි. ඊට පස්සෙ 67 (2) වගන්තිය සලකා බලන්න ඕනි. ඊට පස්සෙ 67 (3) වගන්තියේ කොන්දේසියකට යටත් වෙන්නත් ඕනි. අන්තිමට ඔය සියල්ලටම මහාධිකරණ විනිසුරුවරයා එකඟ වෙන්නත් ඕනි. ඔය ඔක්කොම සම්පූර්ණ වුනොත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නඩුව ඉල්ලා අස්කර ගන්න පුලුවන්. එතකොට මම නිදහස් කරනවා. ඒක නිදොස් කිරීමක් නෙවෙයි. හැබැයි අර මිලියන 100 ගෙවන්න නිශ්චිත කාලයක් දෙනවා. ඒ කාලය ඇතුළත ගෙවන්න ඕනි. ගෙව්වෙ නැත්නම් ඒ නඩුව ආයෙ දාන්න පුලුවන්..

===================================

අල්ලස් කොමිසම විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා කොන්දේසි සහිතව නඩුව ඉල්ලා අස්කර ගත්තෙ කියල. කොන්දේසියත් සඳහන් කර තිබෙනවා. එය මෙසේයි.

” මෙම අධි චෝදනාවන් ඉල්ලා අස් කර ගන්නා දිනයේ සිට මාස 03 ක කාල සීමාවක් ඇතුළත පළමු වන චූදිත විසින් මෙම වරදට අදාළව සිදුවූ අලාභ ලෙස ගණනය කර ඇති රුපියල්. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත් දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක්) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතුය”.

දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය අනුව නඩු ඉල්ලා අස්කර ගන්නා විට එවැනි වන්දියක් ගෙවිය හැකි බව සඳහන් වෙනවා.

නඩුව ඉල්ලා අස්කර ගැනීමට අදාළ නඩු වාර්තාවේ ඇති සටහනක් තවම දැක්කෙ නෑ. කබ්රාල් එකඟ වුනේ නෑ කියල පිරිසක් කියනවා. එය බලාගන්න වෙන්නෙ නඩු වාර්තාවේ එදින සටහන් අනුව..

මම මේ සටහනෙන් කියල තියෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නඩු ඉල්ලා අස්කර ගැනීමට ඇති නෛතික ප්‍රතිපාදන ගැන. කබ්රාල් නඩුව ගත්තෙ උදාහරණයකට පමණයි. ඒ නිසා කබ්රාල්ගෙ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අදාළ කොන්දේසි කබ්රාල් පිළිගත්තද නැද්ද මම දන්නෙ නෑ..

දූෂණ විරෝධි පනතේ 67 වගන්තිය හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කල නිල නිවේදනයේ සඳහන් ආකාරයෙන් නඩු කටයුතු අවසන් කර ඇති බව දැනට විශ්වාස කරන්න පුලුවන්..

කබ්රාල් අදාල මුදල ගෙව්වෙ නැත්නම් ඒ මාස 03 ක ඉක්ම ගිය පසු නැවත ඒ නඩුවම පවරන්න පුලුවන්. ඒ බව දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තියේ ප්‍රකාශිතව සඳහන් කර තිබෙනවා..

🖋️Chathuranga Amarathunga fb page

Latest Posts

spot_imgspot_img