2025ට බිලියන 8ක් වෙන්කර ගත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, දූපතේ අසීමිත ස්වභාවික හා සංස්කෘතික සුන්දරත්වය නිසාම “පහසුවෙන් ඵල නෙළාගත හැකි ක්ෂේත්‍රයක් (Low Hanging Fruit)” ලෙස සලකනු ලැබුවද, වර්තමානය වන විට එය ගැඹුරු ප්‍රතිපත්තිමය සහ පරිපාලනමය අර්බුදයක පැටලී ඇත. මෙම අර්බුදයේ හරය වන්නේ, ජාතික සංචාරක සන්නාමය සහ ප්‍රවර්ධන යාන්ත්‍රණය තුළ පවතින අස්ථාවරත්වය, විනිවිදභාවය නොමැතිකම සහ පුද්ගලික අභිලාෂයන්ගේ දැඩි බලපෑමයි. කර්මාන්තයේ යහපතට ඇළුම් කරන ඕනෑම අයෙකුට වැටහෙන පරිදි, මෙම තත්ත්වය, රටේ අනාගත ආර්ථික විභවයට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.
1. සන්නාමයේ විචල්‍යතාව: ජාතික ප්‍රතිරූපය අවුල් ජාලයක් බවට පත්කිරීම
සංචාරක සන්නාමයක් යනු රටක වටිනාම වත්කම් අතරින් එකක් වන අතර, එය දීර්ඝකාලීන අලෙවි මෙවලමකි. නමුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) පසුගිය දශක දෙක තුළදී පස් වතාවකට වඩා සන්නාමය වෙනස් කර ඇත. ‘A land like no other’ (2009ට පෙර) වැනි ජනප්‍රියත්වයට පත් සන්නාමයක් පවා හදිසියේ ‘Small Miracle’ (2009) බවටත්, පසුව ‘Wonder of Asia’ (2012) බවටත්, ‘So Sri Lanka’ (2019) බවටත්, අවසානයේ ‘You will come back for more’ (2023) බවටත් පත් කිරීම ඓතිහාසික වරදකි.
කලාපීය තරඟකරුවන් වන ඉන්දියාව (“Incredible India”) සහ මැලේසියාව (“Truly Asia”) දශක ගණනාවක් තිස්සේ ස්ථාවර තේමාවක් පවත්වාගෙන යද්දී, අපේ රටේ සෑම නව ආණ්ඩුවක් හෝ නිලධාරී මාරුවක් සමඟම සන්නාමය වෙනස් වීම “නියතයක්” බවට පත්ව ඇත. නවතම සන්නාමය වන “You will come back for more” යන්න, දැනටමත් මෙරටට පැමිණි සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට යම් දුරකට යෝග්‍ය වුවද, නව වෙළඳපොළවල් වෙත ප්‍රවේශ වීමේදී, සංචාරකයෙකුගේ මූලිකම ප්‍රශ්නය වන “ඇයි අපි ශ්‍රී ලංකාවට පැමිණිය යුත්තේ?” යන්නට පිළිතුරක් ලබා දීමට එය අසමත් වී ඇත. මෙලෙස ඇතිවන අස්ථාවරත්වය (Inconsistency) ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අපේ සන්නිවේදනය අවුල් ජාලයක් බවට පත් කරයි.
2. රූකඩ පාලනය සහ බිලියන ගණනක නාස්තිය: ප්‍රවර්ධන ව්‍යාපෘති මාෆියාව
සංචාරක කර්මාන්තයේ අර්බුදයේ තීරණාත්මකම කාරණය වන්නේ, සංචාරක අධිකාරිය සහ ප්‍රවර්ධන බියුරෝව ප්‍රධාන සමාගම් කිහිපයක රූකඩයක් බවට පත්වීම සහ මුදල් සීමිත පිරිසකගේ පුද්ගලික වරප්‍රසාද බවට පත්වීමේ ප්‍රවණතාවයයි. වාර්ෂිකව සංචාරක ප්‍රවර්ධනය සඳහා වෙන්කරන බිලියන ගණනක මුදල්, විධිමත් සැලසුම් වෙනුවට සීමිත සමාගම් කීපයක් සමග ගණුදෙණු සඳහා යොදා ගැනීම දැකිය හැකිය.
- විනිවිදභාවය නොමැතිකම: බිලියන ගණන් වටිනා ගෝලීය ප්‍රවර්ධන ටෙන්ඩර්, ප්‍රසම්පාදන සීමාවන් මඟ හැරීම සඳහා “කෑලිවලට කඩා” දෙපාර්තමේන්තු මට්ටමේ අනුමැතියෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම, බරපතල මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සැකයක් මතු කරයි.
- වගවීමේ අර්බුදය: වංචා චෝදනා මත විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ නිලධාරීන් සහ සමාගම් පවා නැවතත් නව ගිවිසුම් හරහා සේවා ලබා ගැනීම, මෙම මාෆියාවේ බලපෑම කෙතරම් දැයි පෙන්වයි.
- ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණය: ප්‍රවර්ධනය සඳහා වැඩිම පංගුව (උදා: මිලියන 2680 ක්) ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන් කළද, එම වැඩසටහන්වල ප්‍රගතිය බින්දුවට ආසන්න වී ඇත. ප්‍රචාරණයට සල්ලි “ගඟේ මුහුදේ දානවා වගේ” වියදම් කිරීම වෙනුවට, ඕස්ට්‍රේලියාවේ “The world best job” වැනි නිර්මාණශීලී, උපක්‍රමික අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් තුළින් සීමිත මුදලකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවට සාධක තිබියදීත්, අපේ රට දිගින් දිගටම අසාර්ථක මාවත්වල යන්නේ මේ රූකඩ පාලනය හේතුවෙනි.
- 2025 වසරේ අලෙවි ප්‍රවර්ධනයට වෙන්කළ මුදල රුපියල් බිලියන 8ක් වුවද ඉන් නියමිත වැඩසටහන් සිදු නොකිරීම නිසා රුපියල් බිලියන 3කට ආසන්න දේශීය ආයතන හා මුදල් බෙදාගැනීමක් හැරුනු විට නිසි ප්‍රසම්පාදන ක්‍රමයකට කිරීමට සිදුවන Global campaign කිසිවක් සිදුකර නැත.
3. සැබෑ සංවර්ධනය මඟ හැරීම: නිෂ්පාදනයේ දුර්වලතා (Product Itself Marketing)
අලෙවිකරණයේ ප්‍රමුඛ සංකල්පයක් වන “Product Itself Marketing” අනුව, හොඳ ගුණාත්මක නිෂ්පාදිතයක් තිබේ නම්, එයම විශාලතම ප්‍රචාරණයයි. නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ සංචාරක නිෂ්පාදනයේ (Tourist Product) ගුණාත්මකභාවය සහ යටිතල පහසුකම්වල අඩුපාඩුයි.
- ප්‍රධාන සංචාරක ගමනාන්ත ඇතුළුව, මූලික පහසුකම් සහ අවම ප්‍රමිතීන් සම්බන්ධයෙන් බරපතල ගැටළු තිබේ.
- සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන්ගෙන් 70% කට වැඩි ප්‍රමාණයක් කිසිදු ලියාපදිංචියක් නොමැති අවිධිමත් සේවා සපයන්නන්ය. ඔවුන් විශිෂ්ට ආගන්තුක සත්කාරයක් දැක්වුවද, විධිමත් පුහුණුවක් සහ ධාරිතා සංවර්ධනයක් නොමැතිවීම දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීමට බාධාවකි.
- බිලියන ගණනක් ප්‍රවර්ධනයට යොදන අතර, සංචාරක සංවර්ධනය සහ මානව සම්පත් සංවර්ධනය සඳහා ආයෝජනය අඩු කිරීම මඟින් කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයට ඇති අවස්ථාව අහිමි කර ඇත. (global campaign වලට වෙන්වූ බිලියන ගණනක් වසර අවසන්වනතුරුත් ප්‍රයෝජනයට නොගැනීම)
4. විසඳුම
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදයෙන් ගොඩ ගෙන ජාතික අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට නම්, පුද්ගලික න්‍යායපත්‍රවලින් ඔබ්බට ගිය පහත දැක්වෙන විධිමත් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ:
(i) ස්ථාවර සන්නාම ප්‍රතිපත්තියක්:
- අතීතයේ සාර්ථක වූ, ජනතාව පිළිගත් සන්නාමයක් වන “Wonder of Asia” හෝ “A land like no other” වැනි සන්නාමයක් විධිමත් සමීක්ෂණයක් මඟින් නැවත තෝරාගෙන, වසර 10-20 ක කාලයක් සඳහා වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්තියක් ස්ථාපිත කළ යුතුය.
- විකල්පයක් ලෙස, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහා නව නිල ලාංඡනයක් හඳුන්වා දී, ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අවස්ථානුකූලව උප-සන්නාම (Sub-brands) භාවිතා කළ හැකිය.
(ii) විනිවිදභාවය සහ වගවීම:
- බිලියන ගණනක ප්‍රසම්පාදන කටයුතු කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ විධිමත් ලෙස සිදු කිරීම සහ කැබලිවලට කඩා ගිවිසුම් ලබාදීම තහනම් කිරීම.
- ප්‍රවර්ධනය හුදු ආයතනික කාර්යයක් ලෙස නොව, ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා, බහුජාතික සමාගම් වලට පමණක් සීමා නොවී, අසීමිතව රටට ආදරය කරන දේශීය අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators) සහ දක්ෂ තරුණ නිර්මාණශීලීන් හට දායක විය හැකි සම බිමක් නිර්මාණය කළ යුතුය.
(iii) පරිපාලන ශක්තිමත් කිරීම:
- හිසේ අමාරුවට කොට්ට මාරු කිරීම වැනි තත්ත්වයන් නවතා, වගකීම් නිශ්චිත නොවන ව්‍යුහයන් (කොමිෂන් සභා යෝජනා වැනි) වෙනුවට, සංචාරක අමාත්‍යාංශය විධිමත් පරිපාලන යාන්ත්‍රණයක් සහිත ප්‍රමුඛ රේඛීය අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කළ යුතුය.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පරිපාලන නීතිය පිළිබඳ දැනුමක් ඇති විෂය ප්‍රාමාණිකයින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍යය.
ගැටළුකාරී ප්‍රවේශය සහ ළබැඳියාවන්ගේ ප්‍රශ්නය
න්‍යායික කැපවීම් තිබියදීත්, NPP ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සංචාරක ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය තුළ මතුවන ඇතැම් ප්‍රශ්න සහ ආකල්පමය (ideological) ගැටුම් කර්මාන්තයේ අස්ථාවරත්වය තවදුරටත් අවුල් කිරීමට හේතු වී තිබේ.
- ප්‍රතිපත්තිමය අසංගතතාව (Inconsistency): NPP ආණ්ඩුව 2005 සංචාරක පනත විවේචනය කළද, එහි ප්‍රතිපාදන යටතේම සංචාරක උපදේශක කමිටුවක් පත් කිරීම පිළිබඳව කර්මාන්තය තුළ ප්‍රශ්න මතු විය. මෙලෙස, වත්මන් ආණ්ඩුව පවා පෙර පැවති පනතක ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීම, ප්‍රතිපත්තිමය පැහැදිලිභාවයක් (Clarity) නොමැති බවට සංඥා නිකුත් කරයි.
- සන්නාම සහ ප්‍රවර්ධන ප්‍රමාදයන්: පෙර ආණ්ඩු මෙන්ම, NPP ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සන්නාමකරණ උපායමාර්ගය නැවත සමාලෝචනය කිරීම හෝ සම්පූර්ණ ප්‍රතිසන්නාමකරණයක් යෝජනා කිරීම පිළිබඳ වාර්තා පළ වීම, ඔවුන් ද පෙර ආණ්ඩුවලින් උරුම කරගත් ස්ථාවරත්වය නොමැතිකමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට අදහස් පළ වේ. ගෝලීය අලෙවිකරණ ව්‍යාපාර දියත් කිරීමේ ප්‍රමාදයන් ද මේ හා සම්බන්ධය.
- සංකල්පමය ගැටුම් (Ideological Conflicts) සහ සංස්කෘතික සංවේදීතාව: දූෂණය පිටුදැකීමට දැඩි කැපවීමක් තිබුණද, සංචාරක ව්‍යාපාරයේ ඇතැම් අංශවලදී සංස්කෘතික හා දේශපාලන ළබැඳියාවන් මැදිහත් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
- LGBTQI+ සංචාරක ප්‍රවර්ධන මතභේදය: සංචාරක සංවර්ධන අධිකාරිය විසින් LGBTQI+ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදය පෙන්වා දෙන්නේ, රජයේ ඉහළ දේශපාලන අධිකාරිය මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන උපායමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකින් තොර බවයි. අගමැතිවරයා පවා එවැනි සංවේදී කරුණු දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා නොකළ බවට ප්‍රකාශ කිරීම තුළ, ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව අතර සංචාරක ප්‍රතිපත්තියේ පැහැදිලි ඒකාබිද්ධතාවයක් නොමැති බව පෙනේ.
ස්ථාවර ප්‍රතිපත්ති සහ ජාතික වැඩසටහනක් (අඛණ්ඩනය)
මෙම පසුබිම තුළ, වත්මන් දේශපාලන බලවේගයන්ගේ මැදිහත්වීම සහ කැපවීම විමසා බැලීම වැදගත් වේ. ජාතික ජන බලවේගය (NPP) වැනි නව බලවේගයන් දූෂණය පිටුදැකීමට සහ පද්ධතිමය වෙනසක් ඇති කිරීමට න්‍යායිකව දැඩි ලෙස කැපවී සිටී. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල අරමුණ වන්නේ, පෙර රජයන් විසින් සිදුකළ බිලියන ගණනක අරමුදල් නාස්තිය සහ ප්‍රවර්ධන ව්‍යාපෘති මාෆියාව අවසන් කිරීමයි. NPP යේ යෝජනා අතර සංචාරක කර්මාන්තය සඳහා සංචාරක කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සහ ගුණාත්මක සංචාරක නිෂ්පාදන (Product) සහ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSMEs) ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රගතිශීලී පියවරයන්ය. කෙසේ වෙතත්, මෙම කැපවීම සාර්ථක කර ගැනීම සඳහා, ඔවුන් පෙර ආණ්ඩු විසින් සිදුකළ වැරදිම වන ප්‍රතිපත්තිමය අසංගතතාව සහ පරිපාලනමය ප්‍රමාදයන් මගහැරිය යුතුය. විශේෂයෙන්, NPP ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු පවා සන්නාමකරණ උපායමාර්ග නැවත සමාලෝචනය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීම, ඔවුන් ද අතීතයෙන් උරුම කරගත් අස්ථාවරත්වයේ රෝග ලක්ෂණ බවට සංඥා නිකුත් කරයි. තවද, සංවේදී ප්‍රවර්ධන තීරණ සම්බන්ධයෙන් දේශපාලන හා සංස්කෘතික ළබැඳියාවන්ගේ බලපෑම මැදිහත් වීමෙන් වැළකී සිටීමට සිදුවේ.
අවසාන වශයෙන්, සංචාරක කර්මාන්තය සාර්ථක කර ගැනීම යනු සල්ලි වියදම් කිරීම පමණක් නොව, එය උපක්‍රමශීලී අලෙවිකරණය, ගුණාත්මකභාවය සඳහා කැපවීම සහ දූෂණයෙන් තොර විනිවිදභාවය මත පදනම් වූ සංවිධිත විෂයයකි. ජනතා මුදල් ආරක්ෂා කිරීම සහ ප්‍රසම්පාදන මාෆියාවට තිත තැබීමට ඇති කැපවීම තුළින්, වත්මන් දේශපාලන බලවේගවලට සංචාරක අර්බුදයේ මූලික ගැටලු නිරාකරණය කර ගත හැකි ප්‍රබල අවස්ථාවක් උදා වී ඇත. එබැවින්, රජය සහ නිලධාරීන් පුරවැසියෙකු ලෙස තමන් සතු වගකීම අවබෝධ කරගෙන, පෞද්ගලික න්‍යායපත්‍රවලින් ඔබ්බට ගොස් ස්ථාවර ප්‍රතිපත්ති සහ විෂය ප්‍රාමාණිකයින්ගේ උපදෙස් මත පදනම් වූ ස්ථාවර සහ අඛණ්ඩ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම්, ශ්‍රී ලංකාවට අහිමි වූ සංචාරක කර්මාන්තයේ දිලිසීම නැවත ගෙන ඒම අසීරු නොවේ.
සංචාරක කර්මාන්ත ගැන මීළඟ විමර්ශනය –
සංචාරක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ලේක් හවුස් ගොඩනැගිල්ලකට ගිය හැටි…
ළඟදීම බලාපොරොත්තු වන්න!

