දශකයකට අධික කාලයක් තිස්සේ ජාතික ආදායමට වංචා කරමින්, නීතියේ හිඩැස්වලින් රිංගා යන්නට හැදූ පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ බහුජාතික දැවැන්තයා වන යුනිලීවර් ලංකා සමාගමේ සැබෑ හෙළුව නිරුවත් වී තිබේ. ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ පැවති රුපියල් බිලියන 1.2ක දැවැන්ත වැට් (VAT) බදු ආරවුල කෙළවර වූයේ යුනිලීවර් සමාගම ගෙන ආ සියලු තර්ක කුඩුපට්ටම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික, ප්‍රහාරාත්මක තීන්දුවෙනි.

දඩ මුදල් ද සහිතව අභියාචනය විසි කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දුන් මෙම තීන්දුව, හුදෙක් බදු මුදලක් අය කරගැනීමක් පමණක් නොවේ. එය බහුජාතික සමාගම් දේශීය වෙළෙඳපොළ තුළ සිදුකරන උපක්‍රමශීලී සූරාකෑමට එල්ල කළ මාරාන්තික පහරකි.
‘දත් බුරුසුවයි – සෝදන බාර් එකයි’ පිටින් දමා බදුවලින් මාරු වීමට හැදූ ජප්පන්ගේ නාඩගම
මෙම නෛතික සටනට මුලපිරුවේ අප එදිනෙදා ගන්නා ‘Signal’ දත් බුරුසු සහ ‘Vim’ සෝදන බාර් ය. මේවා නිෂ්පාදනය කරන්නට ‘Polypak Secco Limited’ සහ ‘R.M. Chemicals’ යන දේශීය සමාගම්වලට පවරා, යුනිලීවර් සමාගම නැගූ තර්කය අතිශය ලැජ්ජා සහගත ය. “අපිට කම්හල් නෑ, අපි කරන්නේ බාහිරින් අරන් විකුණන එක විතරයි, ඒ නිසා අපි නිෂ්පාදකයෝ නෙවෙයි, හුදෙක් වෙළෙන්දෝ විතරයි” කියමින් 2002 අංක 14 දරන වැට් පනතේ 3 වැනි වගන්තිය පිටුපස හැංගී බදුවලින් මාරු වීමට ප්ලෑන් ගැසූහ.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මොවුන්ගේ නෛතික සළුපිළි ගලවා දමමින් පෙන්වා දුන්නේ සැබෑ “වාණිජ යථාර්ථයයි”!
සන්නාමයේ නාමයෙන් සූරාකෑම: අධිකරණය හෙළි කළ සැබෑ අන්තර්ගතය
කම්හලේ යන්ත්‍ර ක්‍රියාත්මක කළේ වෙනත් අයෙකු විය හැකිය. නමුත් රසායනික සූත්‍රය, තත්ත්ව පාලනය, ඇසුරුම සහ සියල්ලටම වඩා වෙළෙඳ නාමය (Brand Ownership) අයත් වන්නේ කාටද? යුනිලීවර් සමාගමට ය! ‘Signal’ හෝ ‘Vim’ ලේබලය නැතුව අදාළ කොන්ත්‍රාත් කම්හල්වලට එම භාණ්ඩ වෙනත් කාටවත් විකිණිය හැකිද? නැත!
ලිඛිත ගිවිසුම්වල වචන හරඹවලට වඩා ‘ස්වරූපයට වඩා අන්තර්ගතය වැදගත්’ (Substance Over Form) යන මූලධර්මය ඉදිරියට ගත් අධිකරණය, වැට් පනතේ 83 වැනි වගන්තියට අනුව යුනිලීවර් යනු සෘජු “නිෂ්පාදකයෙකු” බවට මුහුණටම පහර දෙමින් තීන්දු කළේය. සන්නාමයේ අයිතිය තියාගෙන වෙළෙඳපොළේ ඉහළම අගය එකතු කරමින් ලාභ ලබන අතරේ, බදු ගෙවන විට “අපි නිෂ්පාදකයෝ නෙවෙයි” කීම අමුම අමු ජප්පන්ගේ කූට උපක්‍රමයක් මිස අන් කවරක්ද?
රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රමාදයන්ගෙන් ගොඩයන්න හදපු තක්කඩි තර්ක කුඩුපට්ටම්!
බදු අභියාචනා කොමිසම (TAC) සිය තීන්දුව දීමට දින 270 සීමාව ඉක්මවා ඇතැයි කියමින්, රාජ්‍ය යාන්ත්‍රණයේ පරිපාලන ප්‍රමාදයන් තමන්ගේ වාසියට හරවාගෙන නඩුව ශුන්‍ය (Void) කරගන්නට යුනිලීවර් දැරූ උත්සාහයට ද අධිකරණයෙන් හිමි වූයේ අතුල් පහරකි. අදාළ කාල සීමාව “උපදේශනාත්මක” (Directory) එකක් මිස “අනිවාර්ය” එකක් නොවන බව තීන්දු කරමින්, රාජ්‍ය ආයතනයක ප්‍රමාදයක් පාවිච්චි කර රජයට අයවිය යුතු මහජන මුදල් ගිලදමන්නට ඉඩ නොදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තදින්ම කියා සිටියේය.
සමස්ත බහුජාතික ජාලයටම එල්ල වූ ප්‍රහාරයක්: White Labeling මුවාවෙන් කෙරෙන කොල්ලය ඉවරයි!
මෙම තීන්දුව හුදෙක් යුනිලීවර් එකට පමණක් නොව, කොන්ත්‍රාත් නිෂ්පාදන (Contract Manufacturing / White Labeling) මුවාවෙන් පිරිවැය අඩු කරගනිමින්, බදුවලින් රිංගා යන ඖෂධ, ආහාර, ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල සිටින සියලුම ආයතනික දැවැන්තයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකි. කම්හලක් නැතත්, සන්නාමය සහ ප්‍රමිතිය නුඹලාගේ නම්, වැට් බදු වගකීමෙන් මින් ඉදිරියට ගැලවීමක් නැත!
2025 ඔක්තෝබර් 01 සිට SVAT අහෝසි කර ඇති පසුබිමක, මෙම තීන්දුවත් සමඟ තමන් “නිෂ්පාදකයින්” බවට පත් වූ ආයතනවලට තමන්ගේ සැපයුම්කරුවන්ට අතිවිශාල වැට් බදු මුදලක් කල්තියා ගෙවීමට සිදුවනු ඇත. නීතියේ හිඩැස්වලින් රිංගා මහජන මුදල් සූරාකෑ කාලය දැන් අහෝසි ය!
අවසාන පණිවිඩය පැහැදිලිය: කඩදාසි ගිවිසුම් පිටුපස හැංගී වාණිජ යථාර්ථය වසන් කරන්නට හැදූ බහුජාතික සමාගම්වල නාඩගම අවසන් ය. තද වන බදු නීති හමුවේ සියලු ජප්පන්ට දැන් සිදුවන්නේ නීතියට සහ රටේ මහජනතාවට හිමි විය යුතු බදු මුදල් හිස නමා ගෙවා දැමීමට පමණි!
(සටහන: මෙම ලිපිය SL Leader හි පළවූ පුවතක් පදනම් කරගනිමින් සකස් කරන ලදී.)



