එක්ස්ප්‍රස් පර්ල් වන්දිය: ‘ආර්ථික අවදානමේ’ මුවාවෙන් ක්‍රියාත්මක වන රක්ෂණ සමාගම්වල ගෝලීය මාධ්‍ය මෙහෙයුම
පසුගිය සතියේ සිකුරාදා ‘ඩේලි එෆ්.ටී’ සහ ‘ලංකාදීප’ පුවත්පත් හරහා එකවර කරළියට පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධ ලිපි මාලාව හුදු සාමාන්‍ය පුවත්පත් වාර්තාකරණයක් නොවේ. එය ෂෝන් වෑන් ඩෝට් (Sean Van Dort) වැනි ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ නාමයන් සහ ඔවුන්ගේ විෂය ප්රාමාණිකත්වය පලිහක් කරගනිමින්, ජාත්‍යන්තර රක්ෂණ සමාගම් විසින් ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති අතිශය සූක්ෂම මනෝවිද්‍යාත්මක සහ මතවාදී මෙහෙයුමක පැහැදිලි ප්රකාශනයකි.

ගෝලීය දේශපාලන ආර්ථිකය සහ ප්‍රාග්ධන හැසිරීම් සම්බන්ධයෙන් සිදුකරන අපගේ කියවීම්වලට අනුව, මෙහිදී සිදුවෙමින් පවතින්නේ ඉතා පැහැදිලි න්‍යායික අර්බුදයක් නිර්මාණය කිරීමකි. එනම්, වින්දිතයාට (ශ්‍රී ලංකාවට) තමන්ගේ යුක්තිය ඉල්ලා සිටීමම “තම විනාශයට මුල” බවට ඒත්තු ගැන්වීමේ දෘෂ්ටිවාදී ප්රචණ්ඩත්වයයි.
ආර්ථික අවදානම නැමති කෘත්‍රිම බිල්ලා
වෑන් ඩෝට්ගේ ලිපියේ කේන්ද්‍රීය තර්කය වන්නේ, එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව දිග්ගැස්සීම හරහා කොළඹ වරාය කෙරෙහි ජාත්‍යන්තර නැව් සමාගම්වලට ඇති විශ්වාසය බිඳවැටෙන බවත්, ඒ හරහා ඉන්දියාවේ වරාය පද්ධතිය (TEU මිලියන 25ක ධාරිතාව) වෙත අපගේ ප්‍රතිනැව්ගත කිරීම් (Transshipment) ගිලිහී යාමේ අවදානමක් පවතින බවත්ය. මෙය බැලූ බැල්මට ඉතා තාර්කික, ජාතික ආර්ථිකය ගැන කැක්කුමකින් ලියවුණු අනතුරු ඇඟවීමක් සේ පෙනේ. එහෙත් මෙහි යටි පෙළ කියවන ඕනෑම අයෙකුට පෙනී යන්නේ, මෙය ජාත්‍යන්තර රක්ෂණකරුවන්ගේ තර්ජනයක් මිස ආර්ථික විශ්ලේෂණයක් නොවන බවයි.
සැබෑ තත්ත්වය නම්, ශ්‍රී ලංකාවට හිමිවිය යුතු සමස්ත වන්දි මුදල ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් පමණ වීමයි. මෙම දැවැන්ත මූල්‍ය බැඳීමෙන් ගැලවීම සඳහා අදාළ ජාත්‍යන්තර රක්ෂණ සමාගම් මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ මහජන සම්බන්ධතා සහ ප්‍රචාරණ ආයතන (PR Agencies) වෙත ඩොලර් මිලියන ගණනක් පොම්ප කරමින් සිටී. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ජාතික පුවත්පත් හරහා “පාරිසරික යුක්තිය පසිඳලීමේ පමාව යනු, අනාගත ආර්ථිකයේ ගෙල සිර කිරීමක්” යන මතය සමාජගත කිරීමයි. වෑන් ඩෝට් වැනි සම්පත්දායකයින් මෙහිදී (ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව) භාවිතා වන්නේ එම ප්රචාරක යාන්ත්රණයට ශාස්ත්‍රීය හා වෘත්තීය නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහාය.
වන්දි කොමිසම අඩාල කිරීම සහ නෛතික කුමන්ත්‍රණය
මෙම මාධ්‍ය මෙහෙයුම තනිව ක්‍රියාත්මක වන්නක් නොවේ. මීට සමගාමීව නෛතික සහ ආයතනික රාමුව තුළද බරපතළ කඩාකප්පල්කාරී ක්‍රියාවලි සිදුවෙමින් පවතී. ඇමරිකානු ඩොලර් මිලියන 999ක මූලික අන්තර්කාලීන වන්දිය පවා අයකර ගැනීමට නොහැකි වන පරිදි ක්‍රියාවලිය අඩාල වී තිබේ. ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල හරහා ගම්‍ය වන්නේ, මෙම වන්දි ක්‍රියාවලිය ප්‍රමාද කිරීම පිටුපස හුදු නිලධාරීවාදී මන්දගාමීත්වයක් පමණක් නොව, සක්‍රීය නෛතික කඩාකප්පල් කිරීමක් (Legal Sabotage) පවතින බවයි.
ප්‍රමාදය නිර්මාණය කරන්නේ රක්ෂණ සමාගම් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයින් විසිනි. ඉන්පසුව එම ප්රමාදයම හේතුකොටගෙන “අවිනිශ්චිතතාවයක්” පවතින බවට තර්ක කරමින්, රක්ෂණ වාරික ඉහළ යාමේ බිල්ලා පෙන්වා, කුඩා මුදලකට ඉක්මන් සමථයකට එළඹීමට රජයට බලපෑම් කිරීම මෙහි අවසන් අරමුණයි.
ජාත්‍යන්තර නාවික නීතිය සහ භූ-දේශපාලනික යථාර්ථය
ජාත්‍යන්තර වාණිජ සමාජය තුළ ශ්‍රී ලංකාව හාස්‍යයට ලක්වන්නේ වන්දි ඉල්ලීම නිසා නොවේ. නිවැරදි විද්‍යාත්මක තක්සේරුවක් මත පදනම්ව තමන්ට සිදුවූ හානියට අදාළ වන්දිය ජාත්‍යන්තර නීතියට අනුව ලබාගැනීමට තරම් කොන්දක් ඇති රාජ්‍ය යාන්ත්‍රණයක් අපට නොමැති වීම නිසාවෙනි.
භූගෝලීය පිහිටීම නිසා පමණක් නැව් කොළඹට එන්නේ නැති බව සැබෑවකි. එහෙත් නාවික ගමනාගමනය තීරණය වන්නේ හුදෙක් එක් පාරිසරික නඩුවක් මත යැපෙන රක්ෂණ වාරික මත පමණක් නොවේ. මාර්ග කාර්යක්ෂමතාව, මෙහෙයුම් පිරිවැය සහ කාලය ඊට වඩා බලපායි. ආයෝජකයින්ට ව්‍යාපාරික අවදානමක් ලෙස පෙනෙන්නේ නඩුවක් ක්‍රියාත්මක වීම නොව, රාජ්‍ය යාන්ත්‍රණය බහුජාතික සමාගම්වල අල්ලසට හෝ බලපෑම්වලට යටත්ව තම නීතිමය ස්වෛරීභාවය පාවා දීමයි.
මේ මොහොතේ අප හමුවේ ඇති අර්බුදය “පාරිසරික අර්බුදයක් ආර්ථික අර්බුදයක් බවට පත්වීම” නොවේ. සැබෑ අර්බුදය වන්නේ, ගෝලීය රක්ෂණ ප්රාග්ධනය විසින් ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන්, මාධ්‍ය සහ නීති පද්ධතිය තම ආධිපත්‍යයට නතුකර ගනිමින් ඩොලර් බිලියන 6.4ක වන්දියක් මංකොල්ලකෑමට දරන උත්සාහයයි.
“පාරිසරික හානියට මිලක් ඇති සේම, අවිනිශ්චිතතාවයටද මිලක් තිබේ” යැයි ලිපියේ අවසානයේ සඳහන් කිරීම, ජාත්‍යන්තර රක්ෂණකරුවන් විසින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන ලද පැහැදිලි තර්ජනයකි. මේ මොහොතේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජනතාව කළ යුත්තේ මෙම බියගැන්වීම්වලට යටත් වී සොච්චමකට එකඟ වීම නොව, ජාත්‍යන්තර නීතියේ ප්‍රතිපාදන උපරිමයෙන් භාවිතා කරමින් රක්ෂණ සමාගම්වල මෙම නින්දිත මාධ්‍ය මෙහෙයුම සහ නෛතික කුමන්ත්‍රණය පරාජය කිරීමයි. සැබෑ ආර්ථික සුරක්ෂිතතාවය රඳා පවතින්නේ එවැනි ඍජු රාජ්‍ය මැදිහත්වීමක් තුළ පමණි.
Source: slleader.lk



