හම්බන්තොට වරාය හරහා මෙරටට ආනයනය කෙරෙන වාහනවල ‘ස්මාර්ට් කී’ (Smart Key) සොරාගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
වරායට ගොඩබාන වාහනවල ස්මාර්ට් කී දිගින් දිගටම අතුරුදහන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ සිදුකළ දීර්ඝ පරීක්ෂණයකදී අදාළ වරාය සේවකයා පිළිබඳව සැකමතු වී ඇත. පසුව ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී තිබේ.
අත්අඩංගුවට පත් සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මෙසේ සොරාගන්නා ස්මාර්ට් කී කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වාහන වර්ගය අනුව රුපියල් 6,000 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවයි. මාස කිහිපයක් තුළ ස්මාර්ට් කී 45ක් පමණ මෙලෙස අලෙවි කර රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ලබාගත් තොරතුරු මත කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ළඟ තිබූ ස්මාර්ට් කී තොගය ද පොලිස් භාරයට ගෙන තිබේ. හම්බන්තොට වරායට වාහන ගෙන්වීම ආරම්භ කළ කාලයේ සිටම මෙම ජාවාරම සිදුව ඇති බවට දැනට කර ඇති පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



