නැඟෙනහිර පළාතේ පාසල්වල පළමුවන ශ්‍රේණියේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා බෙදා හැරීමට තිබූ රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුතු පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නොයවා, බෝතල් පත්තරකරුවකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් උසස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නැඟෙනහිර පළාත් සහකාර කළමනාකාරවරයා සහ ප්‍රවාහන කටයුතු භාරව කටයුතු කළ බියගම ‘ටෂ්මා ඉන්ටර්නැෂනල්’ ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයායි. මෙම සිද්ධියට අදාළව අදාළ පෞද්ගලික ආයතනයේ ලොරි රථ රියැදුරා ද පසුගිය මස 14 වැනිදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
සිද්ධිය පිටුපස ඇති අතිශය කම්පනකාරී කතාව මෙන්න:
නැඟෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12ක් වෙත භාරදීම සඳහා බියගම පිහිටි පෞද්ගලික ආයතනය මගින් භාරගෙන තිබූ 03 වැනි වාරයට අදාළ පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් සංඛ්‍යාව 19,892කි. මෙම පොත් තොගය නියමිත පරිදි මධ්‍යස්ථාන වෙත භාර නොදී සාපරාදී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන හා බෙදා හැරීම් කොමසාරිස් එන්. ඩබ්ලිව්.ඩී. හිරෝෂී ගුණවර්ධන මහත්මිය විසින් ඉකුත් මස 12 වැනිදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ රියැදුරා විසින් කිලෝ 1600ක් බරැති මෙම සමස්ත පොත් තොගයම රුපියල් 47,000ක මුදලකට බෝතල් පත්තරකරුවෙකුට විකුණා ඇති බවයි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර රියැදුරු ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් මැයි මස 24 වැනිදා අදාළ පොත් තොගය භාරගෙන දොම්පේ පිහිටි තම නිවස වෙත රැගෙන ගොස් ගබඩා කර තබාගත් බවයි. පසුව පරණ පත්තර සහ ප්ලාස්ටික් එකතු කිරීමට පැමිණි ලොරියකට කිලෝ බරට මේවා විකුණා මුදල් ලබාගත් බව ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත.
අඹරා ඉන්දියාවටත් යවාලා!
රියැදුරාගෙන් ලත් තොරතුරු මත අදාළ පරණ පත්තර එකතු කළ ලොරි රථ රියැදුරා සොයා ප්‍රශ්න කිරීමේදී, ඔහු එම පොත් තොගය පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට විකුණූ බව හෙළි විය. පසුව පොලිස් කණ්ඩායම් එකී ආයතනය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ පෙළපොත් තොගය සම්පූර්ණයෙන්ම අඹරා, ඊට දින කිහිපයකට පසු ඉන්දියාවට පවා අපනයනය කර අවසන් බවයි.
කිරිවත්තුඩුව සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම නව සැකකරුවන් දෙදෙනා සාපරාදී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම මෙන්ම නොසැලකිලිමත්ව පරිපාලන කටයුතු අධීක්ෂණය නොකිරීමෙන් රජයේ දේපළවලට අලාභ කිරීමට අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් මධුරප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජූඩ්, පොලිස් සැරයන් සිරිවර්ධන (66640), කොස්තාපල්වරුන් වන සරත් (65283) සහ මිහිරංග (78864) යන නිලධාරීහු මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරති.



