Latest Posts

ඩිලන්තට විදෙස් ගමන් තහනම් ඉල්ලූ CIDයට අධිකරණයෙන් නියෝගයක්

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 43ක ඉඩමක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ පුද්ගලයින් කිසිදු ලෙසකින් නඩුවේ සැකකරුවන් ලෙස නම් කර නොමැති පසුබිමක, මෙලෙස විදෙස් ගමන් තහනම් නිකුත් කළ නොහැකි බව අධිකරණය පෙන්වා දුන්නේය. යම් හෙයකින් එවැනි නියෝගයක් ලබාගැනීමට අවශ්‍ය නම්, ප්‍රථමයෙන් ඔවුන් සැකකරුවන් ලෙස නම් කර නීත්‍යානුකූලව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා CIDයට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 80 හැවිරිදි ආරියපාල දිසානායක නැමැත්තා වෙනුවෙන් විශේෂ මෝසමක් ඉදිරිපත් කරමින් CIDය සඳහන් කළේ, අදාළ ගනුදෙනුවට සම්බන්ධයෙන් වාහන 14ක් මාලගමුව මහතා වෙත ලැබී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.
එමෙන්ම ප්‍රකාශ ලබාගැනීමට අදාළ පිරිස සොයාගැනීමට නොහැකි වුවහොත් විමර්ශනවලට බාධා වන බව පවසමින් නිලධාරීන් මෙම තහනම් නියෝගය ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කරන්නේ නම් ලබන 10 වැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වා නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස නියෝග කළේය. ඊට අමතරව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරිණි.

Latest Posts

spot_imgspot_img