Latest Posts

කෝටි 3.6ක වංචාව: ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් මුසම්මිල්ගේ පුත් ‘හාඩි’ට අධිකරණයෙන් හිමිවූ තීන්දුව!

ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36 කට ආසන්න (කෝටි 3.6ක) මුදලක් නොගෙවා වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති මෙන්ම හිටපු ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධයෙන් පැවැති නඩුව අද (03) අධිකරණයේදී සමථයකට පත්ව තිබේ.

‘මල්බෙරි හෝල්ඩිංග්ස්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම වංචාව සිදුකළ බවට එල්ල වූ චෝදනා මත, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-503 යානයෙන් ලන්ඩන් බලා යාමට පැමිණි මොහොමඩ් ඉෂාම් ජමල්දීන් හෙවත් ‘හාඩි’ නමැති 47 හැවිරිදි මෙම සැකකරු ඊයේ (02) කටුනායකදී අත්අඩංගුවට ගැනුණි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (03) මොහොමඩ් ඉෂාම් ජමල්දීන් නැමැති මෙම සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, ප්‍රථමයෙන් නියෝග කෙරුණේ ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

කෙසේ වෙතත්, අදාළ මුදල් ගෙවීමට සම්බන්ධයෙන් පැමිණිලිකාර සහ විත්තිකාර දෙපාර්ශ්වය අතර අධිකරණය හමුවේ ඇතිකරගත් විශේෂ එකඟතාවයක් පදනම් කරගනිමින් මෙම නඩුව සමථයකට පත්කිරීමට තීරණය කර ඇත.

ඊට අමතරව, මීට පෙර කොළඹ මූල්‍ය හා වංචා අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයකට අදාළව මොහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කිරීමට අධිකරණය මෙහිදී නියෝග කළේය.

Latest Posts

spot_imgspot_img