Latest Posts

BREAK THE SILENCE: නිහඬ රාත්‍රියක අඳෝනාව – චූලාගේ නිහඬතාවය සහ අකේන් වෙනුවෙන් කම්පා වන හෘද සාක්ෂිය

ලිපිය: විශේෂාංගය (Special Feature)

මරණය යනු ඕනෑම මොහොතක අප හදවත් කම්පා කරවන දරුණු සත්‍යයකි. චූලා පද්මේන්ද්‍රන්ගේ හදිසි වියෝව ගැන ඇසූ මොහොතේ මුළු මහත් සමාජයම එකම මොහොතක නිහඬ වූයේ, ඇය බොහෝ දෙනෙකුගේ ජීවිතවල නොමැකෙන මතකයක් ඉතිරි කරමින් සදහටම වෙන්ව ගිය බැවිනි. නමුත් ඒ අඳුරු නිහඬතාවය අස්සෙන් අපට කිසිසේත්ම අමතක කළ නොහැකි, අමතක නොකළ යුතු තවත් එක් පුංචි ජීවිතයක් මේ පොළොව මත අසරණව තිබේ. ඒ ඇගේ ආදරණීය පුතු, අකේන්ගේ ජීවිතයයි. අද අපගේ Break the Silence අවධානය යොමු වන්නේ, මවකගේ වියෝවේ රිදුම හමුවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු තනිවන මේ ඛේදවාචකයේ මානුෂීය සහ සංවේදී යථාර්ථය වෙතටයි.

”මවක් අහිමි වීම ඕනෑම දරුවෙකුට දරාගත නොහැකි මහත් වේදනාවකි. නමුත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට එය හුදෙක් මවකගේ අහිමිවීමක් පමණක් නොව, ඔහුගේ මුළු ලෝකයම කඩා වැටීමකි. ඔහුට අද අහිමි වී තිබෙන්නේ මව් සෙනෙහස පමණක් නොවේ; ඔහුගේ ලෝකයේ ඔහු හුරුපුරුදු වූ එකම ආදරය, රැකවරණය සහ ආරක්ෂාවයි. අතීතයේ සිදුවූ දේවල් දෙස ආපසු හැරී බලමින් එකිනෙකාට චෝදනා කිරීමෙන් අද කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නැත. මවත් පියාත් එකට සිටියත්, වෙන්ව සිටියත්, දරුවෙකු මෙලොවට බිහිකළ පසුව ඇතිවන “පියා” යන බැඳීම කිසිදා අවසන් වන්නේ නැත. දරුවෙකුගේ ජීවිතයක් හමුවේ පනස් සියයට පනහක වගකීම මෙන්ම අයිතියද එක ලෙසම ජාතක කළ මවටත් පියාටත් පැවරෙන බව අප අමතක නොකළ යුතුය.”

ඒ නිසා මේ අසීරු මොහොතේදී සමාජයක් ලෙස අප කිසිවෙකුත් අතීතයේ සිදුවූ අතපසු වීම් වෙනුවෙන් ප්‍රශ්න කරන්නේ හෝ පියාගේ පාර්ශවයට කිසිදු අගෞරවයක් කිරීමට උත්සාහ කරන්නේ නැත. අප සංවේදීව ඉල්ලන්නේ ඒ අසරණ පුතුගේ අනාගතය වෙනුවෙන් පියෙකු ලෙස ඉදිරියට එන ලෙසයි. චූලාගේ පුතු අකේන්ගේ පියා වෙත අද සමාජ මාධ්‍ය හරහා නැගෙන මෙම අදහස් චෝදනාවක් නොව, හදවතින්ම කෙරෙන ආදරණීය ඉල්ලීමකි. අද ඒ පුංචි පුතුට ඔබගේ අත අවශ්‍යව තිබේ. ඔහුට ඔබේ ආදරය, ඔබේ ආරක්ෂාව සහ ඔහුගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් ඔබේ කැපවීම අත්‍යවශ්‍යම මොහොත මෙයයි. චූලා නැවත කිසිදිනක ඔහු වෙත පැමිණෙන්නේ නැත. ඒ නිසා ඇයගෙන් හිස් වූ ඒ ලෝකයේ “තාත්තා” කියන අතිශය උතුම් තැන හිස්ව තබන්නට ඉඩ නොදෙන්න.

චූලාගේ ජීවිතය ගැන, ඇය කළ කියූ දේවල් ගැන ලෝකයට බොහෝ දේ කතා කළ හැක. නමුත් අද ඇගේ නිහඬතාවය හමුවේ ඇයට කළ හැකි ලොකුම ගෞරවය වන්නේ ඇය මේ ලෝකයේ තබා ගිය ඒ පුංචි ජීවිතය නිරුපද්‍රිතව රැකගැනීමයි. මෙය සමාජයකින් කෙරෙන නඩු ඇසීමක් නොවේ. පියෙකුගෙන් තවත් මිනිසෙකු වෙත කෙරෙන අතිශය සංවේදී ආයාචනයකි. අතීතය කුමක් වුවත්, අද ඒ පුතුට ඔබව අවශ්‍යමය. චූලා වෙනුවෙන් යන්නට නොහැකි වූ දුර, ඒ පුංචි දරුවා වෙනුවෙන් යන්න. කවදා හෝ ඔහුට තම මව මතක් වූ දවසක, “අම්මා නැති වුණත් මගේ තාත්තා මාව අතහැරියේ නැහැ” කියා මුළු ලෝකයම ඉදිරියේ කියන්නට පුළුවන් පියෙකු වන්න.

Latest Posts

spot_imgspot_img