මහරගම අපේක්ෂා රෝහල කියන්නේ මරණයත් එක්ක සටන් කරන දහස් ගණනක් අසරණ මිනිස්සුන්ගේ අවසාන බලාපොරොත්තුවයි. ඒත්, අද වෙනකොට ඒ බලාපොරොත්තුවලටත් පරිපාලනමය කුහකකම් සහ පාර්ශවීය බලපෑම් නිසා “මරණ වරෙන්තු” ලියැවෙමින් පවතින බවක් පේන්න තියෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය (26) දින අනාවරණය කළ කන්දොස්කිරියාවෙන් හෙළි වෙන්නේ රටක් හැටියට අප ලැජ්ජා විය යුතු බරපතළ සමාජයීය ඛේදවාචකයක්.
ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) විකිරණ ප්‍රතිකාරය කියන්නේ පිළිකා රෝගියෙකුට ජීවිතය දෙන ප්‍රධානතම වෛද්‍ය විද්‍යාත්මක පියවරක්. හැබැයි මේ ප්‍රතිකාරය කරන්න කලින් රෝගියාගේ ශරීරයේ පිළිකා සෛල තියෙන නිවැරදිම ස්ථානය සහ දිය යුතු විකිරණ මාත්‍රාව ගණනය කරන්න ‘CT Simulation’ පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අද වෙනකොට අපේක්ෂා රෝහලේ ඒ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. ප්‍රතිඵලය? අහිංසක පිළිකා රෝගීන් 800 කට අධික පිරිසක් ජීවිතයත් මරණයත් අතර අතරමං වීමයි.
යන්ත්‍රය තියෙනවා; හැබැයි වැඩක් ගන්න දෙන්නේ නැහැ!

මෙහි ඇති පිළිකුල් සහගතම කතාව තමයි, මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය නවීනතම සීටී (CT) යන්ත්‍රය මේ වන විටත් රෝහල තුළ සම්පූර්ණයෙන්ම සවි කර අවසන්ව තිබීමයි. යන්ත්‍රය සූදානම්, රෝගීන් සූදානම්, තාක්ෂණවේදීන් සූදානම්. හැබැයි වැඩේ කෙරෙන්නේ නැහැ. හේතුව? රෝහල් පාලනාධිකාරිය විසින් එය නිල වශයෙන් භාර නොගැනීමයි.
රෝහල් අධ්යක්ෂවරයා විසින් ජූනි මාසයේ මුල් සතියේදීම මේ යන්ත්‍රය පරීක්ෂා කරලා භාරගන්න විශේෂ “පිළිගැනීමේ කමිටුවක්” (Acceptance Committee) පත් කරලා තිබුණත්, සති කිහිපයක් ගතවන තුරුත් එම කමිටුව අකර්මණ්‍ය වී තිබෙනවා. වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ රෝහල ඇතුළේ ක්‍රියාත්මක වන යම් කිසි අදෘශ්‍යමාන, බලගතු පාර්ශවයක පුද්ගලික හෝ වෘත්තීයමය බලපෑම් මත මේ ක්‍රියාවලිය හිතාමතාම ප්‍රමාද කරන බවයි.
අපිට අහන්න තියෙන්නේ එකම ප්රශ්නයකි: රෝගීන් 800කගේ ජීවිත අවදානමකට ලක් කරමින්, රාජ්‍ය දේපළක් මෙලෙස හිර කරගෙන සිටින ඒ “කලු හස්තය” කාගේද? මේ පරිපාලනමය අකාර්යක්ෂමතාවයක්ද, නැතිනම් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන (Private Channeling) පෝෂණය කරන්න කරන කුමන්ත්‍රණයක්ද?
පෙට් ස්කෑන් (PET Scan) එකෙන් පැලැස්තර දැමීම
පවතින දැඩි විරෝධය හමුවේ, රෝහල් පාලනාධිකාරිය විසින් ඉතාමත් හදිසි රෝගීන් කීපදෙනෙකුගේ CT Simulation පරීක්ෂණ දැනට රෝහලේ ඇති PET Scan යන්ත්‍රය ආදේශකයක් ලෙස භාවිත කරමින් සිදු කිරීමට පියවර ගෙන ඇත. නමුත් එය හරියට “කන්දක් කඩා වැටෙද්දී පැලැස්තරයක් අලවනවා” වැනි වැඩකි.
පොරොත්තු ලේඛනයේ ලේ කඳුළු පෙරමින් සිටින 800කට අධික රෝගීන් සංඛ්‍යාවකට මේ තාවකාලික සෙල්ලම් හරහා තිරසාර විසඳුමක් ලැබෙන්නේ නැත. පිළිකාවක් කියන්නේ දිනෙන් දින, පැයෙන් පැය ශරීරය පුරා දුවන රෝගයක් මිස, රෝහල් කමිටු රැස්වෙනකම් බලා සිටින දෙයක් නොවේ.
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට!

පද්ධතිය ඇතුළේ තියෙන මෙන්න මේ වගේ “කුණුවීම්” සුද්ධ කරන්න තමයි ජනතාව අලුත් ආණ්ඩුවක් සහ අලුත් සෞඛ්‍ය ඇමතිවරයෙක් පත් කර ගත්තේ. වෘත්තීයමය හෝ පරිපාලනමය කුහකකම් නිසා අහිංසක මිනිස්සු පණ ඇදින තත්ත්වයට පත් කරන නිලධාරී මාෆියාවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් හදිසි ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ මේ පිටුපස ඇති පුද්ගලික න්යායපත්ර පිළිබඳව වහාම විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසයි.
හරි දේශය (HariDeshayaLk) අපද අවධාරණය කරන්නේ මෙයයි:
ඇමතිතුමනි, වහාම මේ ගැටලුවට මැදිහත් වන්න. අදාළ කමිටුවලට නියෝග කර, පැය 24ක් ඇතුළත එම නව CT යන්ත්‍රය ක්‍රියාත්මක කර රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට පියවර ගන්න. නිලධාරීන්ගේ Ego (මමත්වය) වෙනුවෙන් අසරණ මිනිසුන්ගේ ජීවිත බිලිදීමට ඉඩ නොදෙන්න!



