Latest Posts

රෝහල අසල රහස් මෙහෙයුම: සලේගේ දරුවන් පසුපස පන්නන ‘අදිසි’ සෙවනැල්ල කාගේද?

පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ පවුලේ සාමාජිකයින් දැඩි ලුහුබැඳීමකට සහ තර්ජනයකට ලක්ව ඇති බවට බරපතළ අනාවරණයක් සිදු වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන මනෝරි බන්දුසේන සලේ විසින් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපතිවරයා වෙත ජුනි 20 වැනිදා හදිසි පැමිණිල්ලක් යොමු කර ඇත.

තම දරුවන් පසුපස හඹා එන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත යැයි සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින්ගේ අරමුණ කුමක්ද යන්න ඇය මෙහිදී දැඩිව ප්‍රශ්න කර තිබේ.

මෙම බියගන්වනසුලු තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත්තේ සලේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පසුබිමකය. සිය පියා බැලීම සඳහා රෝහලට ගිය 17 හැවිරිදි පාසල් යන දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා රෝහලෙන් පිටවීමට යාමේදී, සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු ඔවුන් සමඟම විදුලි සෝපානයට පිවිස ඔවුන්ව ලුහුබැඳ ඇත. මාධ්‍යවේදීන් මඟහරිමින් දරුවන් වෙනත් ගේට්ටුවකින් ගොස් වාහනයට ඇතුළු වන අවස්ථාවේදීද, අදාළ පුද්ගලයා වාහනය අසලටම පැමිණ සිය ජංගම දුරකථනයෙන් දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙම තීරණාත්මක අවස්ථාවේදී සලේ පුත්‍රයා විසින් තමන්ව ලුහුබැඳ ආ අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් රහසින් ලබාගැනීමට සමත්ව ඇති අතර, එය “X1” ලෙස නම් කරමින් ප්‍රධාන සාක්ෂියක් ලෙස බලධාරීන්ට භාර දී ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසල තම වාහනය නවතා තිබූ අවස්ථාවල මෙම පුද්ගලයා ඒ අසල සැකකටයුතු ලෙස ගැවසුණු බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් මෙලෙස බාලවයස්කාර දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් පසුපස පන්නමින් ඔවුන්ව ඡායාරූපගත කරන්නේ කුමන අරමුණකින්ද යන්න මෙහිදී පැන නගින බරපතළම විවේචනයයි.

නීතියේ ආධිපත්‍යය ප්‍රශ්න කෙරෙන තවත් ඛේදවාචකයක් වන්නේ, සුරේෂ් සලේව වෙනත් රැඳවියන් ඉදිරියේ නිරුවත් කර සෝදිසි කළ බවට අදාළ ආයතනයේ ස්ථානාධිපතිවරයා විසින්ම මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගෙන තිබීමයි.

මෙවන් අමානුෂික සැලකීම් සහ පවුලේ සාමාජිකයන් දඩයම් කිරීම් හරහා පවතින නීතිමය ක්‍රියාවලියට බාධා කිරීමට සහ මානසිකව බියගැන්වීමට බලධාරීන් උත්සාහ කරන්නේද යන්න විමර්ශනයට ලක් විය යුතුය. මේ සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ පුද්ගලයා කාගේ උපදෙස් මත ක්‍රියා කරන්නේද යන්න හෙළි කර තම පවුලට වහාම ආරක්ෂාව සපයන ලෙසත් මනෝරි සලේ අදාළ අධිකාරියෙන් දැඩිව ඉල්ලා සිටියි.

Source : slleader.lk

Latest Posts

spot_imgspot_img