Latest Posts

නුවරඑළිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අර්බුදය උත්සන්න වෙයි: දිසාපතිට සංදේශයක් දෙද්දී මාධ්‍යයටත් තහංචි!

නුවරඑළිය මහ නගර සභා රේස්කෝස් ක්‍රීඩාංගණ භූමියේ අවිධිමත් ලෙස ඉදිවන නිවාස පේළියට එරෙහිව ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන ගෙන යන අරගලය නවතම මුහුණුවරක් ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් (High Altitude Training Center) ඉදිකිරීමට යෝජිත මෙම භූමිය මැද මුඩුක්කු ලයිම් සංස්කෘතියක් බිහිකිරීම වහා නතර කරන ලෙස ඉල්ලා අද (15) දින මානව හිමිකම් සංවිධානයක් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත සංදේශයක් භාර දෙනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් ලේකම්වරියගෙන් එල්ල වූයේ දැඩි අකුල් හෙළීමකි.

“මාධ්‍ය සංදර්ශන බෑ” – දිසාපතිගෙන් මාධ්‍යවේදීන්ට දැඩි නියෝගයක්

අන්තර්ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකාය විසින් නුවරඑළිය දිසාපති තුෂාරි තෙන්නකෝන් වෙත මෙම සංදේශය භාරදීමට කටයුතු කෙරිණි. එහෙත් එම අවස්ථාව ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝ කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණු අතර, දිසාපතිවරිය ප්‍රකාශ කළේ තමන් මේවා මාධ්‍ය සංදර්ශන කර ගැනීමට ඉඩ නොදෙන බවයි.

“මාධ්‍යයට ලබා දෙන්න ඕන දේවල් අපි ලබාදීලා තියෙන්නේ. මේ කාරණාවත් මාධ්‍ය සංදර්ශනයක් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. වීඩියෝ, ෆොටෝ ගහන්න ඕනේ නෑ.” ඇය සඳහන් කළේය.

“ක්‍රීඩාංගණය මැද මත්ද්‍රව්‍ය තිප්පොළක් වීමේ අවදානමක්!” – සිවිල් සංවිධාන අනතුරු අඟවයි

සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර්ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකායේ සභාපති සකුන්තිකා මැණිකේ, මෙම අවිධිමත් ඉදිකිරීම් නිසා ඉදිරියේදී මතුවිය හැකි බරපතළ සමාජීය සහ පාරිසරික අනතුර පෙන්වා දුන්නාය.

නුවරඑළියේ අතීත අත්දැකීම් අනුව ‘තාවකාලික’ යැයි පවසමින් සිමෙන්ති ගල් යොදා ඉදිකරන කිසිදු ගොඩනැගිල්ලක් පසුව ඉවත් කරගත නොහැකි වී ඇති අතර, මේවාද ස්ථීර මුඩුක්කු බවට පත්වීමේ අවදානමක් ඇත. වසරේ උත්සව සමයන්හිදී මෙම භූමියට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන් හේතුවෙන්, එහි පදිංචි කෙරෙන පවුල් මෙන්ම ක්‍රීඩා කිරීමට එන පාසල් දරුවන් ද දැඩි අනතුරකට ලක්විය හැකිය. විධිමත් මළාපවහන, ජල හෝ විදුලි පද්ධතියක් නොමැතිව සිදුකරන මෙම ඉදිකිරීම් නිසා සමස්ත ප්‍රදේශයම අප්‍රසන්න කලාපයක් වන අතර නුවරඑළියේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් වන ග්‍රෙගරි වැව දූෂණය වනු ඇති බව පරිසර සංවිධාන ප්‍රකාශ කරයි.

බලධාරීන්ගේ ප්‍රකාශ සහ යථාර්ථය අතර ගැටුම

නුවරඑළිය මහ නගර සභාව විසින් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් විකල්ප ඉඩමක් සභා අනුමැතියෙන් වෙන්කර දී තිබියදී, වටිනා ක්‍රීඩා භූමියක් මෙලෙස විනාශ කරන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි. මීට පෙර අවස්ථාවලදී රජයෙන් ලබාදුන් විකල්ප ඉඩම් ප්‍රතික්ෂේප කළ පිරිස්, මෙම වටිනා ක්‍රීඩා භූමිය කවදා හෝ අයිති කරගත හැකි බවට වන චේතනාවෙන් මෙයට එකඟ වී ඇති බවටද චෝදනා එල්ල වේ.

පසුගිය ජූනි 10 වනදා ‘හරි දේශය’ අප අනාවරණය කළ පරිදි, මෙම ව්‍යාපෘතිය පිටුපස ප්‍රබල දේශපාලන හිතවත්කම් පවතී.

බලධාරීන්ගේ ස්ථාවරය, ප්‍රදේශවාසීන් සහ සංවිධාන පෙන්වා දෙන යථාර්ථය

මෙම මතභේදාත්මක ව්‍යාපෘතිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්නගේ සහයෝගය ඇතිව සිදුවන්නක් ලෙස පැවසුණද, අදාළ ඉදිකිරීම් සඳහා ක්‍රීඩාංගණ භූමිය ලබාදීමට නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේම බිරිඳ වන වත්මන් නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) වරිය වීම විශේෂත්වයකි. එසේම, වසර දෙකකින් අදාළ පවුල් එතැනින් ඉවත් කිරීමට රජය කටයුතු කරන බැවින් ඒ දෙස බලා සිටින ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළද, ‘තාවකාලික’ යැයි පවසන මෙම ඉදිකිරීම් සඳහා සිමෙන්ති ගල් යොදා ගනිමින් ස්ථීර ලෙස ගොඩනැගීම් සිදුකරන බැවින්, බලධාරීන් දෙන එම වසර දෙකේ පොරොන්දුව කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බව ජනතාව අවධාරණය කරති.

ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග!

පවත්නා තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරියගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසන සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු, බලධාරීන්ගේ මෙම අදූරදර්ශී ක්‍රියාවට එරෙහිව නිශ්ශබ්ද නොවන බව ප්‍රකාශ කරයි. ඉදිරි දිනවලදී නුවරඑළියට ආදරය කරන තවත් මානව හිමිකම් හා ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධ කරගනිමින් මේ පිළිබඳව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කරන බව ඔවුහු වැඩිදුරටත් ‘හරි දේශය’ වෙත සනාථ කළහ.

Latest Posts

spot_imgspot_img