Latest Posts

භාණ්ඩ ආනයනයේ මුවාවෙන් ඩොලර් මිලියන ගණනක් රට පැන්නූ මහා ජාවාරමේ ඇතුළාන්තය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ විදේශ සංචිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින්, භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදලක් විදේශ රටවලට ප්‍රේෂණය කිරීමේ දැවැන්ත අපරාධ ජාලයක තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වකින් සහ පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා රේගුව සිදුකළ පුළුල් විමර්ශන හරහා මෙම සංවිධානාත්මක මූල්‍ය අපරාධයේ ස්වභාවය මනාව තහවුරු වී තිබේ.

මෙම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන උපක්‍රමය වී ඇත්තේ ව්‍යාපාරික කටයුතු සිදුකරන බවට රජය සහ බැංකු පද්ධතිය නොමඟ යවමින් සමාගම් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමයි. ඉන් අනතුරුව, එම සමාගම් හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් (Telegraphic Transfers – TT) මාර්ගයෙන් අතිවිශාල මුදල් කන්දරාවක් විදෙස් ගත කර ඇත. කෙසේ වෙතත්, අදාළ ගනුදෙනු සඳහා කිසිදු භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ගෙන්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කැලණියේ ත්‍රිරෝද රථයෙන් හෙළි වූ ඩොලර් මිලියන 42ක අභිරහස

මෙම මහා පරිමාණ ජාවාරමේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය සටහන් වන්නේ 2025 වසරේ ඔක්තෝබර් 22 වන දාය. කැලණිය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෑලියගොඩදී පරීක්ෂා කළ සැකකටයුතු ත්‍රිරෝද රථයක තිබී කිසිදු නීත්‍යානුකූල මූලාශ්‍රයක් පෙන්විය නොහැකි වූ රුපියල් කෝටි 3ක මුදලක් සොයාගැනීමත් සමඟ මෙම අන්තර්ජාතික ජාලයේ සුලමුල හෙළිවීම ආරම්භ වූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් මෙම විමර්ශනයට අනුව පහත කරුණු සාක්ෂි සහිතව අනාවරණය වී ඇත:

Next Gen Private Limited නම් සැකකටයුතු සමාගම විසින් අවස්ථා 953කදී රුපියල් කෝටි 1,289ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 42.7ක්) විදේශ රටවල් 26ක සමාගම් 256කට හුවමාරු කර තිබේ. මෑතකදී ආන්දෝලනයට ලක්වූ NDB බැංකුවේ රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවට අදාළ මුදල් ද රටින් පිටකර ඇත්තේ ද මෙම සමාගම හරහා බවට මේ වන විට තහවුරු වී ඇත.

2025 ජූලි 02 දින ලියාපදිංචි කළ මෙම සමාගමට ඇත්තේ එක් අධ්‍යක්ෂවරයෙකු/කොටස්කරුවෙකු පමණක් වන අතර ඔවුන් කිසිදු නීත්‍යනුකූල ව්‍යාපාරයක් සිදුකර නොමැත.

මත්ද්‍රව්‍ය ජාලය සහ රටවල් 108කට විහිදුණු ජාවාරම

මෙයට සමගාමීව, මීගමුව පොලිසිය සිදුකළ හෙරොයින් වැටලීමක් හරහා තවත් දැවැන්ත ජාවාරමක සුලමුල හෙළි විය. ඩුබායි සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත, දිවුලපිටියේ පෞද්ගලික බැංකුවක තැන්පත් කළ මුදල්, පිටකොටුවේ පිහිටි AY investment නම් සමාගමක ගිණුමකට බැර වී ඇත.

ගිණුමට ලැබෙන මුදල් දින කිහිපයකට වරක් චෙක්පත් මගින් ලබාගෙන, වෙනත් පෞද්ගලික බැංකුවක එම නමින්ම පවතින තවත් ජංගම ගිණුම් 4කට බැර කර ඇති අතර එම ගිණුම් හරහා රුපියල් කෝටි 1,300ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක්) මුදලක් විදේශ රටවල් 108කට ප්‍රේෂණය කර තිබේ.

හාඩ්වෙයාර් භාණ්ඩ, නානකාමර උපකරණ හා රත්‍රන් ගෙන්වන බව පැවසුවද, මෙම සමාගම් ශ්‍රී ලංකා රේගුවේ ආනයන/අපනයනකරුවන් ලෙස හෝ ලියාපදිංචි වී නොමැති බව වාර්තා වලින් හෙළිවේ.

සංඛ්‍යා දත්ත මගින් තහවුරු වන අපරාධයේ තරම

ශ්‍රී ලංකා රේගුව සහ පොලිසිය එක්ව සිදුකළ පූර්ණ විමර්ශනයට අනුව, 2023 ජනවාරි 01 සිට 2025 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පමණක් බැංකු ගිණුම් 227ක් මගින්, කිසිදු භාණ්ඩයක් නොගෙන්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 26,108ක් උපයා ඇති අතර දේශීය සමාගම් 105ක් මෙයට සම්බන්ධ වී ඇත.

මෙම සමාගම් 105ම පවත්වාගෙන ගොස් ඇත්තේ පුද්ගලයින් 55 දෙනෙකු පමණක් වීම මගින් මෙය අතිශය සංවිධානාත්මක, එකම කණ්ඩායමක් විසින් මෙහෙයවන ජාලයක් බව පැහැදිලි වේ. එක් දිනකදී එක් බැංකුවකින් අවස්ථා 14කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හුවමාරු කර ඇති බැවින්, මීට අනුබල දුන් ඇතැම් බැංකු නිලධාරීන්ගේ වගවීම සම්බන්ධයෙන් ද මේ වන විට වෙනම අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ආර්ථික හා නෛතික විශ්ලේෂණය

මෙම මූල්‍ය අපරාධය පිටුපස ඇති ආර්ථික සාධක පිළිබඳව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙලෙස කරුණු දක්වයි.

“ගොඩක් වෙලාවට නීතිවිරෝධී ක්‍රමයට ඉපැයූ සහ බදුවලට නොපෙන්වූ සල්ලි තමයි මේ විදිහට ආයෝජනය කරන්නේ. එසේම ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) නීතිගත කර නොමැති වුවද, ඇතැම් දේශපාලඥයින් පවා තම වත්කම් බැරකම් ප්‍රකාශවල ඒවා ආයෝජනය කර ඇති බව පෙන්වා දී තිබෙනවා. මෙය වැළැක්වීමට නව තාක්ෂණය අත්‍යවශ්‍යයි.”

පසුගිය සමයේ නිල ඩොලර් අනුපාතය සහ වෙළඳපොළ වටිනාකම අතර ඇති වූ පරතරය ද මෙවැනි නීතිවිරෝධී උණ්ඩියල් හා විද්‍යුත් හුවමාරු දිරිමත් කිරීමට හේතු වූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ වන විටත් ජාවාරමට සම්බන්ධ ගිණුම් රැසක් අක්‍රීය කර ඇති අතර, ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විශේෂ නීතිමය පියවර ගනිමින් පවතී. රටේ ආර්ථිකයට සහ මහජනතාවගේ විදේශ විනිමය සංචිතවලට සෘජු තර්ජනයක් වූ මෙම දැවැන්ත “සුදු කරපටි” අපරාධයේ තවත් අදෘශ්‍යමාන හස්තයන් නුදුරේදීම නීතිය හමුවට ගෙන ඒමට නියමිතය.

මුලාශ්‍රය – BBC සිංහල පුවත් සේවය

Latest Posts

spot_imgspot_img