ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදන කර්මාන්තශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීමකට ලක්ව තිබේ.
මෙලෙස බලධාරීන්ගේ වැටලීමට ලක්ව ඇත්තේ RS Lanka Agency නමින් පවත්වාගෙන ගිය ආයතනයකි. පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය සහ ජීවිත ආරක්ෂාව දැඩි අවදානමකට ලක් කරමින්, කිසිදු ප්‍රමිතියකින් හෝ නියාමනයකින් තොරව මෙම ව්‍යාපාරය දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවට නිලධාරීන් සැක පළ කරයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් මෙවැනි නිෂ්පාදන සඳහා අනිවාර්ය කර ඇති SLS සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කර, වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ටින් මාළු ඇසුරුම් විශාල තොගයක් මෙම වැටලීමේදී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
අදාළ නීතිවිරෝධී කර්මාන්තශාලාවේ හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටියි.
මෙවැනි ප්‍රමිතියෙන් තොර, හොර රහසේ නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත්, අදාළ ප්‍රමිති සහතික ගැන විමසිලිමත් වන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.








