Latest Posts

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සිහිනයට ප්‍රශ්නාර්ථයක් – නුවරඑළිය ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි විරෝධය

නුවරඑළිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත් කරන බවට රජය කරන ප්‍රකාශ හුදෙක් ජනතාව මුළා කරන ‘සංවර්ධන සිහිනයක්’ පමණක් බවත්, එම ව්‍යාජ පොරොන්දුව මුවාවෙන් දැනට පවතින ක්‍රීඩා භූමියද සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද දමමින් පවතින බවටත් නුවරඑළිය ප්‍රදේශවාසීන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

පසුගියදා පැවැති ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වෙමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ ප්‍රකාශ කළේ, නුවරඑළිය මහ නගර සභා රේස්කෝස් ක්‍රීඩාංගණය ඉහළ උන්නතාංශ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් (High Altitude Training Center) බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවයි. එහෙත්, එම ප්‍රකාශය සිදුකරන මොහොතේත් අදාළ ක්‍රීඩා භූමිය මධ්‍යයේම අවිධිමත් නිවාස සංකීර්ණයක් ඉදිවෙමින් පවතින බව ප්‍රකාශ කරමින් නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්, නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කරමින් තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් මැද ඉදිවෙන නිවාස සංකීර්ණය

ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ගැන පුරසාරම් දොඩද්දී, ආපදාවට ලක්වූවන් සඳහා යැයි පවසමින් ක්‍රීඩා භූමිය මධ්‍යයේම “තාවකාලික” නිවාස පේළියක් ඉදිකෙරෙමින් පවතී.

ආපදාවට ලක්වූ ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා නුවරඑළිය මහ නගර සභාව විසින් දැනටමත් වෙනත් සුදුසු ඉඩමක් අනුමත කර වෙන්කර දී තිබෙන පසුබිමක ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් ඇති ක්‍රීඩා භූමියක් මධ්‍යයේම මෙම නිවාස ඉදිකිරීම බලධාරීන්ගේ අදූරදර්ශී බව මනාව පෙන්වන්නක් බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී තිළිණි වික්‍රමසිංහ පවසයි.

මෙම ඉදිකිරීම් තාවකාලික යැයි පැවසුවද, ඒවා සම්පූර්ණයෙන්ම සිමෙන්ති ගල් යොදාගෙන ස්ථීර ලෙස ගොඩනගමින් පවතින අතර නුවරඑළියේ අතීත අත්දැකීම් අනුව, මෙලෙස ඉදිකරන තාවකාලික ගොඩනැගිලි පසුව ස්ථීර මුඩුක්කු බවට පත්වන බවට ජනතාව චෝදනා කරයි.

මෙම විනාශකාරී ව්‍යාපෘතිය පිටුපස ප්‍රබල දේශපාලන හිතවත්කම් ක්‍රියාත්මක වන බවටද බරපතළ චෝදනාවක්

ක්‍රීඩා අමාත්‍යවරයා සිය කතාවේදී මෙම ව්‍යාපෘතියට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්නගේ සහය ලැබෙන බව සඳහන් කළේය. එහෙත් මෙහි ඇති මතභේදාත්මකම කරුණ වන්නේ, මෙම අවිධිමත් ඉදිකිරීම් සඳහා ක්‍රීඩාංගණ භූමිය ලබාදීමට නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේම බිරිඳ වන, වත්මන් නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) තුමිය වීමයි.

ග්‍රෙගරි වැවට එල්ල වන පාරිසරික හානි

මෙම නව නිවාසවල මළාපවහන පද්ධතිය කිසිඳු ප්‍රමිතියකට අනුව සිදුකර නොමැති බවත් ඒ හරහා නුවරඑළියේ ප්‍රධානතම සංචාරක ස්ථානයක් වන ග්‍රෙගරි වැව අර්බුදයකට පත්වන බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. මේ හරහා පිරිසිදු වාතාශ්‍රය සහ සුවපහසුව පතා එන දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිරියේදී අපද්‍රව්‍ය පිරුණු වැවක බෝට්ටු සවාරි යාමට සිදුවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මීට පෙර පැවති රජයන්ද මෙම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියේ සිටි බවත් ඒ සඳහා වාර කිහිපයක්ම මුල්ගල් තබා ඇති බවත් අනාවරණය විය.

Latest Posts

spot_imgspot_img