එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානයට සම්බන්ධ අන්තර්ගතයන් සහිත රැප් ගීතයක් නිර්මාණය කිරීමේ චෝදනාව මත කිලිනොච්චියේ තරුණ කලාකරුවෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමත් සමඟ, වත්මන් රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙබිඩි පිළිවෙත පිළිබඳව බරපතළ විමර්ශනාත්මක කතිකාවක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනාවක් එල්ල කරමින් ප්‍රශ්න කර සිටින්නේ, “දේශපාලකයන්ට එක නීතියකුත්, සාමාන්‍ය තරුණයින්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේ කෙසේද?” යන්නයි.
මාලිමාවේ දේශපාලකයන්ට PTA නීතිය අදාළ නැද්ද?
නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන පරිදි, මෑතකදී නිමාවට පත් වූ පළාත් පාලන මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය තුළදී ජාතික ජන බලවේගයේ (NPP) දේශපාලනඥයින් විසින් ද මෙවැනිම ආකාරයේ එල්.ටී.ටී.ඊ තේමාවන් රැගත් ගීත කිසිදු බාධාවකින් තොරව භාවිත කර තිබේ. විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය දේශපාලන වාසි තකා මෙවැනි ගීත ප්‍රසිද්ධියේම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබූ බව වාර්තා වේ.

“එවැනි අවස්ථාවලදී පොලිසිය සිටියේ කොහේද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එවිට ක්‍රියාත්මක නොවූයේ ඇයි?”
යනුවෙන් රාජපක්ෂ මහතා සිය නිල ‘X’ (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් සෘජුවම ප්‍රශ්න කර ඇත.
ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමට විරුද්ධයි – නමුත් නීතිය සැමට සමාන විය යුතුයි
එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, කිසිවෙකු විසින් හෝ එය උත්කර්ෂයට නැංවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි. එහෙත් ඔහු පෙන්වා දෙන්නේ නීතිය සහ වගවීම සැමට සමානව අදාළ විය යුතු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ දේශපාලකයන්ට එක් නීතියකුත්, සාමාන්‍ය තරුණයින්ට තවත් නීතියකුත් තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මෙවැනි ක්‍රියා නීතිවිරෝධී යැයි රජය විශ්වාස කරන්නේ නම්, එය ක්‍රියාත්මක කිරීමේදී අනුකූලතාවක් සහ ස්ථාවරත්වයක් තිබිය යුතු බවත් නීතිය තෝරා බේරාගෙන ක්‍රියාත්මක කරන්නේ නම්, කිලිනොච්චි කලාකරුවාගේ අත්අඩංගුවට ගැනීම පැහැදිලිවම රජයේ බලය අනිසි ලෙස හා පක්ෂග්රාහීව භාවිත කිරීමක් ලෙස ජනතාව දකිනු ඇති බවයි.



