ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණ ද්විත්වය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් ඉහළ නැංවීම සඳහා රජය විසින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
මෙම මතභේදාත්මක ව්‍යවස්ථාමය පියවර වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියගේ සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ නිල ලිපියක් ද යොමු කර ඇත.

වසර 48ක සම්ප්‍රදාය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමේ අවදානමක්!
නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත් නොවෙනස්ව පවත්වාගෙන ආ බවයි.
එම දිගුකාලීන සම්ප්‍රදායික වයස් සීමාවන් කිසිදු පැහැදිලි හෝ විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව, හදිසියේ සහ අත්තනෝමතික ලෙස වෙනස් කිරීම නීති පද්ධතියේ ස්ථාවරත්වයට මෙන්ම රටේ නීතියේ ආධිපත්‍යයට (Rule of Law) බරපතළ හානියක් සිදුකරනු ඇති බව එම ලිපියෙහි අවධාරණය කර ඇත.
“20 වන සංශෝධනයෙන් විනිසුරුවරුන් ගණන වැඩි කළා: දැන් වයස ඉහළ දැමීමේ කිසිදු සැබෑ අවශ්‍යතාවක් නෑ”
විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් විය හැකි ප්‍රධානතම තර්කයක් වන්නේ අධිකරණවල පවතින සේවා බර (Workload) ලිහිල් කිරීමයි. කෙසේ වෙතත්, නීතිඥ සංගමය සිය ලිපිය මඟින් එම තර්කය දත්ත සහිතව බිඳ දමා තිබේ.
ලිපියේ සඳහන් ප්‍රධාන කරුණක්..,
2020 ඔක්තෝබර් මස 29 වන දින සහතික කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ අධිකරණවල විනිසුරු සංඛ්‍යාව දැනටමත් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත.

ඒ අනුව සභාපති ඇතුළුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව අගවිනිසුරු ඇතුළුව 11 සිට 17 දක්වා ඉහල දැමූ බව නීතිඥ සංගමය අවධාරණය කරයි.
එවැනි සාධනීය විනිසුරු සංඛ්‍යාවක වර්ධනයක් මෑතකදී සිදුකර තිබියදී, කාර්යමය අවශ්‍යතාවයක් මුල් කරගනිමින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තවදුරටත් දීර්ඝ කිරීමට උත්සාහ කිරීමේ කිසිදු සැබෑ හෝ සාධාරණ අවශ්‍යතාවක් පැවතිය නොහැකි බව නීතිඥ සංගමය පවසයි.
දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ව්‍යවස්ථාව පාවිච්චි කිරීමේ ‘භයානක පූර්වාදර්ශය’
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉතිහාසය සිහිපත් කරමින් පෙන්වා දෙන්නේ, වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවිධ අවස්ථාවලදී දිගුකාලීන සැලසුමකින් තොරව (ad hoc) සංශෝධනය වී ඇති බවයි. බොහෝ විට එවැනි සංශෝධන සිදුවූයේ බලයේ සිටින රජයන්හි පටු දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට මිස රටේ පොදු යහපත උදෙසා නොවේ.
වත්මන් රජය ද එවැනිම හදිසි පියවරක් අනුගමනය කළහොත්, එය ඉදිරියට පැමිණෙන ඕනෑම රජයකට අධිකරණයේ ව්‍යුහය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම සඳහා ‘භයානක පූර්වාදර්ශයක්’ (Dangerous Precedent) සපයනු ඇතැයි සංගමය අනතුරු අඟවයි.
මහජන විශ්වාසය කඩවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය
මෙම ලිපියෙහි අඩංගු අතිශය සංවේදී සහ විමර්ශනාත්මක නිරීක්ෂණය වන්නේ, දැනට සේවයේ නියුතු (Sitting Judges) ඉහළම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ මොහොතේ ඉහළ දැමීමට ක්‍රියා කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට රජය දරන සෘජු හෝ වක්‍ර උත්සාහයක් ලෙස මහජනතාව විසින් අර්ථකථනය කිරීමට ඇති ඉඩකඩයි.
අධිකරණය යනු හුදෙක් ස්වාධීනව පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එය කිසිදු දේශපාලන බලපෑමකින්, අනුග්‍රහයකින් හෝ වරප්‍රසාද ලබාදීමකින් තොරව පූර්ණ වශයෙන් ස්වාධීනව ක්‍රියා කරන බව මහජනතාවට ‘පෙනෙන්නට තිබීම’ (Seen to be independent) ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. මෙම වයස් සීමා සංශෝධනය හරහා රජයේ යටි අරමුණු පිළිබඳව සමාජය තුළ බරපතළ ප්‍රශ්නාර්ථයන් මතු විය හැකි බව ලිපියේ දැක්වේ.



