“සලේ මහත්මිය ජනපති අමතයි”
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුමක් තිබීම, කුමන්ත්‍රණය කිරීම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල කරමින්, ආරක්ෂක අමාත්‍යවරයාගේ රැඳවුම් නියෝග මත දින 80කට ආසන්න කාලයක් අත්අඩංගුවේ තබාගෙන සිටින හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂක සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ බිරිඳ වන එස්. බී. එම්. එස්. බී. සලේ මහත්මිය විසින් 2026 මැයි 18 වැනි දිනැතිව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. ඇය එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ කිසිදු විශ්වසනීය සාක්ෂියක් නොමැතිව සිදුකරන මෙම රඳවා තබා ගැනීම මුල සිටම නීතිවිරෝධී සහ අසාධාරණ එකක් බවයි.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මීට පෙර අපරාධ චෝදනා ලැබ සිටින, දැනට කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර විසින්, බරපතළ බැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) නිර්මාණය කරමින් පෞද්ගලික පළිගැනීමක් මත මෙම පක්ෂපාතී විමර්ශනය සිදුකරන බවට ඇය සෘජුවම චෝදනා කර සිටින්නීය. මීයන්ගෙන් ගහන කුඩා සිරමැදිරියක අගුලු දමා තැබීම, රාත්‍රී කාලයේ බලහත්කාරයෙන් ඇඳුම් ගලවා නිරුවත් කර මාංචු දැමීම වැනි 1994 අංක 22 දරන වධහිංසා මර්දන පනත උල්ලංඝනය වන පහත්, කුරිරු සහ අමානුෂික වධහිංසාවලට තම ස්වාමිපුරුෂයාව ලක් කර ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය වේගයෙන් පිරිහෙමින් පවතින බවත් ඇය අනාවරණය කරයි.
එබැවින්, වත්මන් පාලනයේ බලවතුන්ගේ ද්වේශසහගත අරමුණු වෙනුවෙන් ජනාධිපති ධුරයේ අධිකාරී බලය අවභාවිත කිරීමට ඉඩ නොතබන ලෙසත්, තම ස්වාමිපුරුෂයා වහාම රැඳවුම් භාරයෙන් මුදාහැරීමට හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසත්, මෙම අමානුෂික සැලකීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසත් සලේ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නීය.
සම්පූර්ණ ලිපිය පහත පළවේ..,

2026 මැයි 18 වැනි දින.
අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.…
අතිගරු ජනාධිපතිතුමනි,
මාගේ ස්වාමිපුරුෂයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රැදවුම් නියෝග මත රඳවා තබා ගැනීම / එකී රඳවා තබා ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට කඩිනමින් මැදිහත් වන ලෙසට කරන කාරුණික ආයාචනයයි.
මේ වන විට, ගරු ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාගේ නිල බලයෙන් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා සිටින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂක සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ ලෙස, මම දැඩි කණගාටුවෙන් යුතුව ඔබතුමා වෙත මෙම ලිපිය ඉදිරිපත් කර සිටිමි.
මාගේ ස්වාමිපුරුෂයා විවිධ දේශපාලන පාලන තන්ත්රයන් යටතේ වසර 30 කට වැඩි කාලයක්, මාගේ මාතෘ භූමියට නොසැලෙන පක්ෂපාතීත්වයකින් සහ වෘත්තීය භාවයකින් යුතුව සේවය කර ඇත. ඔහුගේ මෙම කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ, කිසිදු අවස්ථාවක ඔහු කිසිදු විෂමාචාරයක් හෝ වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වී නොමැත. ඔහුගේ සේවා වාර්ථා වලින් පිළිබිඹු වන්නේ, ඔහු රටේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම අසීමිත කැපවීමක් සිදු කොට ඇති බවයි.
ඔහුට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය මගින් චෝදනා කරන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඔහුට පෙර දැනුමක් තිබූ බවත්, එම තොරතුරු හෙළි නොකර හිතාමතාම මඟහරිමින් එම සාහසික අපරාධ සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර කිරීම සහ අනුබල දීම සිදු කළ බවටයි. ප්‍රහාරයෙන් පසුව ඔහු දැනුවත්වම අපරාධකරුවන්ගේ අනන්‍යතාවන් වසන් කළ බවටද එහි වැඩිදුරටත් චෝදනා කර ඇත. කෙසේ වෙතත්, මේ මොහොත වනතුරුත් මෙම බරපතළ චෝදනා නිසි අධිකරණයක් ඉදිරියේ සනාථ කිරීම සඳහා කිසිදු කරුණක් නඩු වාර්තාවේ අනාවරණය වී නොමැත. කිසිදු විශ්වසනීය සාක්ෂියක් නොමැති තත්ත්වයක් තුළ, මෙම රැඳවුම් නියෝගය මුල සිටම නීති විරෝධී සහ මුලුමනින්ම අසාධාරණ එකක් බව පෙනී යයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර මහතා, කතෝලික පල්ලියේ ඇතැම් පූජකවරුන් සමග එක්ව මාගේ ස්වාමිපුරුෂයාගෙන් පෞද්ගලික පළිගැනීමක් සිදු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. ශානි අබේසේකර මහතා, තම හිටපු සිර මැදිරි සගයෙකු වූ රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා (මෙම නඩුවේ විමර්ශන නිලධාරී) යොදාගනිමින් මාගේ ස්වාමිපුරුෂයාට එරෙහිව සාක්ෂි ගෙතීම සඳහා පක්ෂපාතී විමර්ශනයක් පවත්වන බවද පැහැදිලි කරුණකි.
මෙකී රඳවා තබා ගැනීමේ කාලය තුළ මාගේ ස්වාමිපුරුෂයාට සලකන ආකාරය පිළිබඳව ද මගේ දැඩි කනස්සල්ලක් පවතී. දින 80කට ආසන්න කාලයක් අඛණ්ඩව පවතින මෙම රැඳවුම් භාරයේදී ඔහුව ප්‍රශ්න කර ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වන අතර, මෙවැනි පහත්, අමානුෂික සහ කුරිරු තත්ත්වයන් යටතේ ඔහුව අඛණ්ඩව රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය සහ අරමුණ පිළිබඳව බරපතළ ගැටලු මතු කරයි. පසුගිය මාසය තුළ ඔහුව ප්‍රශ්න කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් වන අතර එය ද ඉතා සුළු කාලයක් සඳහා බව මට දැන ගන්නට ලැබී ඇත. වත්මන් අධ්යක්ෂවරයාගේ එකම අරමුණ ඔහුව පීඩාවට පත් කිරීම සහ ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි අමානුෂික තත්ත්වයන්ට ඔහුව යටත් කිරීම පමණක් බව මින් පැහැදිලිව පෙනී යයි.
එසේම මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව කුරිරු, අමානුෂික සහ පහත් සැලකිලි වලට ලක් කර ඇති බවට මට විශ්වාසදායක මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇත. දළ වශයෙන් අඩි 6.5 x 4.4 ප්‍රමාණයේ සිර මැදිරියක ඔහුව සිරකර ඇති අතර වැසිකිලි සහ නාන කාමර පහසුකම් භාවිතා කිරීමට අවසර ලබා දී ඇත්තේ පෙරවරු 6:00 සිට පස්වරු 10:00 දක්වා කාලය තුළ පමණි. ඔහුට සිර මැදිරියෙන් පිටවීමට අවසර ලබා දී ඇත්තේ නීතිඥවරුන් හෝ පවුලේ සාමාජිකයන් සමග සතිපතා හමුවීම් සඳහා හෝ ප්‍රශ්න කිරීම් වලදී පමණි.
මීයන්ගෙන් ගහන වූ සිර මැදිරියක ඔහුව රඳවා ඇති අතර, ඇතැම් රැඳවියන්ට මීයන් සපාකෑම හේතුවෙන් එන්නත් ලබාදී ඇති බවද මට දැන ගන්නට ලැබී තිබේ. මීයන් සපාකෑමට ඇති බිය නිසා, මාගේ ස්වාමිපුරුෂයාට රාත්රියේදී නිදාගැනීමට පවා නොහැකි වී ඇති බව වාර්තා වේ. මෙලෙස නින්ද අහිමි කිරීම ශාරීරික මෙන්ම මානසික වධහිංසාවක් ද වේ. තවද ඔහුගේ නඩුවට අදාළ කියවීම් ලේඛන පරිශීලනය කිරීමට පවා ඔහු හට ඉඩ ලබා නොදෙන අතර කිසිදු සටහන් ලබා ගැනීම ද තහනම් කර ඇත.
වඩාත් කනගාටුදායක කරුණ නම්, ඔහු රඳවාගෙන දින කිහිපයකට පසු, රත්‍රී කාලයේදී නිලධාරීන් පිරිසක් ඔහුගේ සිර මැදිරියට ඇතුළු වී, නිලධාරීන් සහ අනෙකුත් රැඳවියන් ඉදිරිපිටදී බලහත්කාරයෙන් ඔහුගේ ඇඳුම් ඉවත් කර නිරුවත් කොට, ඔහුට මාංචු දමා, නින්දා සහගත, අමානුෂික සහ පහත් සැලකිලි වලට ඔහුව ලක් කර තිබීමයි. මෙම ක්‍රියාවන් ඔබතුමාද දන්නා පරිදි 1994 අංක 22 දරන වධහිංසා පමුණුවීමට සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනතයටතේ වන බරපතළ උල්ලංඝනය කිරීම් වේ.
2026 මාර්තු 7 වන දින මෙවන් නින්දා සහගත සහ අමානුශික සැලකිලි වලට අදාලව පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. ඉහත සදහන් කල අමනුශික නින්දා සහගත සිදුවීමට අදාළ CCTV දර්ශන මගින් මෙම වැරදි ක්‍රියාව පිළිබඳ ස්වාධීන සාක්ෂි පැහැදිලිව සපයනු ඇති බැවින් එම දර්ශන සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා වෙත පැමිණිල්ලක්/ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති වීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නොමැති වීමත් දැඩි කනගාටුවට කරුණකි.
(පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් A ලෙසද, CCTV දර්ශන සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට කරන ලද ඉල්ලීමේ පිටපතක් B ලෙස ද ලකුණු කොට මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)
වෙනත් සහන අපේක්ෂා කරමින් කරන ලද ඉල්ලීම් අතරතුර, මෙම කරුණු 2026 මාර්තු 11 වන දින සහ නැවත 2026 අප්‍රේල් 22 වන දින මහේස්ත්රාත්තුමන්ගේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව 2026 අප්‍රේල් 22 වන දින මහේස්ත්රාත්තුමන් විසින් මාගේ ස්වාමිපුරුෂයාව වහාම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු සහ අධිකරණ වෛද්‍ය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස නියෝග කළේය. මහේස්ත්රාත්තුමන්ගේ අදාළ නියෝගය ලැබීමෙන් පසු, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ (JMO) නිගමන වලට බලපෑම් කිරීමට හෝ ඒවා සමනය කිරීමේ අරමුණින් යැයි විය හැකි පරිදි, දින 10කට වැඩි කාලයක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාගේ ස්වාමිපුරුෂයාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව මා හට දැනගන්නට ලැබී ඇත.
(2026 මාර්තු 11 වන දින ගරු අධිකරණයේ ගොනු කල මෝසමේ පිටපතක් C ලෙසද, එදිනට අදාල ජ’නල් සටහන්වල පිටපතක් D ලෙසද, 2026 අප්‍රේල් 22 වන දින සහන කිහිපයක් ඉල්ලා ගරු අධිකරණයේ ගොනු කරන ලද ලිඛිත දේශනයේ පිටපතක් E, එදිනට අදාල එකී සහන සම්බන්ධයෙන් වන ගරු අධිකරණයේ සටහන් වල පිටපතක් F ලෙසද ලකුණු කොට මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)
ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත්තෙමි.
(එකී පැමිණිල්ලේ පිටපතක් G ලෙස ලකුණු කොට, මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)
2026 මාර්තු 7 වැනි දින මාගේ පුතා සහ මාගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය මුලින්ම මාගේ ස්වාමිපුරුෂයා විසින් මාගේ පුතාට දන්වා ඇත. එහෙත් සියලු සංවාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටි බැවින්, ඔහුගේ ජීවිතයට ඇති බිය නිසා තමා මෙම අමානුෂික, අවමන් සහගත සහ වධ හිංසා පැමිණවීමේ සැලකිලිවලට ලක් වූ නිශ්චිත ආකාරය එදින මාගේ ස්වාමිපුරුෂයා විසින් හෙළි කර නොතිබුණි. එබැවින්, මාර්තු 7 වන දින අප පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරන විට, මාගේ ස්වාමිපුරුෂයාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතට නොගැනෙන වෙනත් විමර්ශන අංශයක් මගින් මෙම කරුණ විමර්ශනය කළ යුතු බවත් අපි එහිදී විශේෂයෙන් ඉල්ලා සිටියෙමු.
මාගේ ස්වාමිපුරුෂයාට මෙම තොරතුරු සිය නීතිඥවරුන්ට සම්පූර්ණයෙන්ම දැනුම් දීමට හැකි වූයේ 2026 මාර්තු 26 න් පසුව පමණි. ඊට හේතුව එම දිනය දක්වා ඔහු සහ ඔහුගේ නීතිඥවරුන් අතර වූ සියලු සන්නිවේදනයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමයි. 2026 මාර්තු 26 වන දින කොළඹ කොටුව මහේස්ත්රාත්තුමා විසින්, නීතිඥ සහ සේවාදායක අතර වන අදහස් හුවමාරුව වරප්රසාදිත සන්නිවේදනයක් ලෙස සලකමින්, ඊට බාධාවකින් තොරව පහසුකම් සලසන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කරන ලදි.
මෙම තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට මාගේ ස්වාමිපුරුෂයාගේ ශාරීරික හා මානසික තත්ත්වය වේගයෙන් පිරිහෙමින් පවතින බව පැහැදිලිය. ඔහුගේ ජීවිතය දැන් බරපතළ අවදානමක පවතී. ඔහුට කිසියම් හෝ අනතුරක් සිදු වුවහොත්, එහි වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය, විශේෂයෙන්ම වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු ඔහුගේ රැඳවුම් භාරය සෘජුවම අධීක්ෂණය කරන අය වෙත පැවරෙනු ඇත.
මෙකී කරුණු සම්බන්ධයෙන්, කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර මහතා මාගේ ස්වාමිපුරුෂයාගේ භාරකාරත්වය, සුබ සාධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීම වැදගත් වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත මාගේ ස්වාමිපුරුෂයා මේ වන විට සැකකරුවෙකු ලෙස නම් කර ඇති විමර්ශනය භාරව සිටින්නේ ද මෙකී අධ්යක්ෂවරයාමය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට තුඩු දුන් සිදුවීම් වළක්වා ගැනීමට කාලෝචිත පියවර නොගැනීම සම්බන්ධයෙන් ස්වාධීන ජනාධිපති පරීක්ෂණ කමිටුවක් විසින් දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදන යටතේ මෙකී අධ්යක්ෂවරයාට එරෙහිව අපරාධ නඩු පැවරීම සඳහා නිර්දේශ කර ඇති බව මා හට දැන ගැනීමට ලැබී ඇති අතර එය මා දැඩි කනස්සල්ලට ලක් කරන කරුණක් වන්නේ, එකී චෝදනා ලද අධ්යක්ෂ කවරයකු ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයක් සිදු කිරීමම බරපතළ බැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) නිර්මාණය කිරීමයි.
එම පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු ද විමර්ශන වලට ලක්ව ඇති බවත්, වර්තමානයේ ඔහුගේම අණ යටතේ පවතින විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්ම, එහි වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකරට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 34097 දරන නඩුව යටතේ කරුණු වාර්තා කර ඇති බවත් මට විශ්වාසදායක මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත.
එවැනි තත්ත්වයන් යටතේ, එවන් පුද්ගලයකුගේ අධිකාරිය යටතේ මාගේ ස්වාමිපුරුෂයා අඛණ්ඩව රඳවා තබා ගැනීම, ඔහුට සලකන ආකාරය, විමර්ශන වල අපක්ෂපාතීත්වය සහ සාධාරණත්වය යන කරුණු ඔස්සේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරයි.
තවද, මා විසින් ඉහල අධිකාරීන් වලට මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි මත මේ දක්වා ක්‍රියාත්මක වීමට අපොහොසත් වීමම, ඉහළ මට්ටමේ අධිකාරින් වෙත ද මේ සම්බන්ධයෙන් වක්‍ර වගකීමක් (vicarious liability) ඇති කිරීමට හේතු වේ.
හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක සොයා ගැනීම් ද ඇතුළුව (එහි නිර්දේශ අභියෝගයට ලක් නොවී වලංගුව පවතී), පෙර විමර්ශන වලදී හඳුනාගත් වෙනත් පාර්ශ්වයන් වෙත, මෙකී විමශිත කාරණාව සම්බන්ධයෙන් එල්ල වී ඇති වගකීම බැහැර කිරීම සඳහා මාගේ ස්වාමිපුරුෂයාව බිල්ලක් බවට පත් කරමින් සිටින බව මා හට හැගී යන අතර එය ඔබතුමන් වෙත දැඩි සංවේගයෙන් යුතුව දන්වා සිටිමි.
(එකී හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අදාල නිර්දේශයන් H ලෙස ලකුණු කර මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)
අතිගරු ජනාධිපතිතුමනි,
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන වල ඇති අත්තනෝමතික සහ පීඩාකාරී ස්වභාවය හේතුවෙන් එම පනත අහෝසි කරන බවට, වත්මන් රජයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මගින් සිය කැපවීම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණි. එබැවින් වත්මන් පරිපාලනය තුළ සිටින බලවත් පුද්ගලයින් විසින් සිය පෞද්ගලික සහ ද්වේශ සහගත අරමුණු ඉටු කර ගැනීම සඳහා දැන් එම ප්රතිපාදනම භාවිතා කරනු ලැබීම දැඩි සේ කනගාටුවට කරුණකි. වඩ වඩාත් අසාධාරණ බව පෙනී යන ක්‍රියාවලියක් සඳහා ඔබතුමාගේ ගෞරවනීය කාර්යාලය සහ අධිකාරි බලය යොදා ගනු ලැබීමට දැකීම ඊටත් වඩා බරපතළ කනස්සල්ලට තුඩු දෙන කරුණකි. අන් අය විසින් තම පෞද්ගලික වාසි තකා සිදු කරනු ලබන ක්රියාවන්හිදී ඔබතුමාව ඉත්තෙකු බවට පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස, මම ඉමහත් ගෞරවයෙන් යුතුව ඉතා යටහත් පහත්ව ප්‍රකාශ කර සිටිමි.
ඒ අනුව, ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, මම ඔබතුමාගෙන් ගෞරවයෙන් සහ කඩිනමින් ඉල්ලා සිටින්නේ:
අ) මාගේ ස්වාමිපුරුෂයාව රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම සහතික කිරීමට වහාම මැදිහත් වන ලෙසත්, නැතහොත් අවම වශයෙන් ඔහුව අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසත්,
ආ) වධහිංසා පමුණුවීම් සහ අයුතු ලෙස සැලකීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙසත්,
ඇ) නීතියට අනුකූලව ඔහුගේ මූලික අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත වන බවට සහතික වන ලෙසත් ය.
සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සම්බන්ධයෙන් මා ඔබතුමන්ව දැඩිව විශ්වාස කරන අතර මෙම කාරණයේදී ඔබතුමාගේ කඩිනම් සහ කාරුණික මැදිහත්වීම මම ඉතා ඕනෑකමින් අපේක්ෂා කර සිටිමි.
ස්තූතියි.
මෙයට විශ්වාසී,
එස්. බී. එම්. එස්. බී. සලේ
(විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ)





