Latest Posts

“කටුවෙන් එළියට ඇවිත් උත්තර දෙන්න” – ආර්ථිකය ගැන කරුණු 15ක් මුල් කරගනිමින් රජිත් කීර්තිගෙන් මහ බැංකුවට විවෘත අභියෝගයක්!

රටේ සැබෑ ආර්ථික දත්ත වසන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන “රැවටෙන්න එපා” ප්‍රකාශවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ආර්ථික දත්ත මත පදනම් වූ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ ඔහු අවධාරණය කරන්නේ, තමන් ඇතුළු සංවිධාන මතු කළ නිශ්චිත කරුණු 15 කට මහ බැංකුව සෘජු හෝ විශ්වසනීය පිළිතුරු ලබා නොදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි. “කටුවෙන් එළියට ඇවිත් උත්තර දෙන්න” යැයි ඔහු මහ බැංකු බලධාරීන්ට විවෘත ආරාධනයක් ද සිදු කරයි.

රට බුන්වත් කළ “රැවටෙන්න එපා” ඉතිහාසය

2022 වසරේදී මහ බැංකුව මුදල් අච්චු ගැසූ අවස්ථාවේදී තමන් කළ අනාවරණයට ද මහ බැංකුව එදා “රැවටෙන්න එපා” යැයි කී බව මතක් කර දෙන රජිත තෙන්නකෝන්, ඉන් දින 100ක් යන්නටත් මත්තෙන් රට බුන්වත්භාවය (Bankruptcy) ප්‍රකාශ කළ බව පෙන්වා දෙයි.

පසුගිය මැයි 25 දින මහ බැංකුව වාක්‍ය දෙකක නිවේදනයක් නිකුත් කළේ මානව හිමිකම් කේන්ද්‍රයේ චෝදනාවලින් ලිස්සා යාමට බවත්, ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය විසින් භාණ්ඩාගාර මංකොල්ලය හෙළි කර දින 35ක් ගතවීත් මහ බැංකුව ඒ ගැන මුනිවත රකින බවත් නිවේදනයේ සඳහන් වේ.

මහ බැංකුව පිළිතුරු දිය යුතු ප්‍රධාන කරුණු 15ක්

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මහ බැංකුව වහාම පැහැදිලි කළ යුතු බවට දත්ත සහිතව ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු කිහිපය,

  • 2025 ජනවාරි මාසයේ රු. බිලියන 14,439.1 ක් වූ පුළුල් මුදල් සැපයුම (M2b), 2026 මාර්තු වන විට රු. බිලියන 16,585.7 දක්වා රු. බිලියන 2,146.1 කින් (ට්‍රිලියන 2.1ක්) ප්‍රසාරණය වී ඇත.
  • 2025 දී රු. බිලියන 1,653.3 ක් සහ 2026 පළමු මාස තුනේදී රු. බිලියන 610.7 ක් ලෙස මුදල් සැපයුම පුළුල් කර ඇත. ව්‍යවහාර මුදල් සංසරණය ද රු. මිලියන 303,956 කින් ඉහළ ගොස් ඇත.
  • ප්‍රකට ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කි (Steve Hanke) සහ මාධ්‍යවේදී රංග සිරිලාල් පෙන්වා දෙන පරිදි රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇති අතර මේ වසරේ ඩොලරයේ අගය 353.17 දක්වා පල්ලම් බැස ඇත. එසේ වුවත් මහ බැංකුව IMF ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ඩොලරයට රු. 330 ක නිල නොවන පාලන මිලක් පනවා ඇත.
  • මැයි 24 දින තමන් අනාවැකි පළ කළ පරිදිම මහ බැංකුව අද දින පොලී අනුපාත 8.75% දක්වා ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීම හැර රජයට විකල්පයක් නැත.
  • මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය 2024 නොවැම්බර් මස පැවති රු. බිලියන 28,240.22 සිට 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රු. බිලියන 1,754.47 කින් අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත.
  • 2023-2024 කාලයේ මසකට ඩො.මි. 175 බැගින් වර්ධනය වූ සංචිත, 2025 මාර්තු (ඩො.මි. 6,531) සිට 2026 අප්‍රේල් (ඩො.මි. 6,759) දක්වා වර්ධනය වී ඇත්තේ සොච්චමකින් පමණි.

මහ බැංකු අධීක්ෂණය යටතේ සිදුවූ මූල්‍ය වංචා

මහ බැංකුව “රැවටෙන්න එපා” කියමින් ජනතාව මුලා කරන අතරතුර, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පවතින මූල්‍ය පද්ධතිය තුළ සිදු වූ දැවැන්ත දූෂණ සහ අක්‍රමිකතා රැසක් ද මෙම නිවේදනය මගින් හෙළි කර ඇත.

මහ බැංකුවේ ගිණුමකින් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වී ඇති අතර ඉන් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණක් බවත් NDB බැංකුවෙන් රුපියල් බිලියන 13ක් අතුරුදන් වී රටින් පිට කර ඇති බවත් මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරුවේදී රු. මිලියන 656 ක වැඩිපුර ගෙවීමක් සිදුව ඇති බවත් සඳහන් කරමින් රාජිත තෙන්නකෝන් වත්මන් ආණ්ඩුව මහා බැංකුවේ අධීක්ෂණය යටතේ සිදු කළා යැයි කියන මුල්‍ය වංචා රැසක් මෙම නිවේදනය මගින් හෙළිකර ඇත.

  • සම්පත් බැංකුවේ මහනුවර ශාඛාවේ දැවැන්ත වංචාවක් සිදුව ඇත.
  • තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් සේවයට (USPS) ගෙවූ ඩොලර් 625,000ක් තෙවන පාර්ශවයකට ගොස් ඇත.
  • ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් 90,000කට වැඩිපුර/ද්විත්ව මුදල් ගෙවා ඇතත් ඒවා තවමත් අයකරගෙන නොමැත.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු 15 සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දත්ත පාදක කරගත් නිශ්චිත විශ්ලේෂණයක් රටට ඉදිරිපත් කරන තෙක්, ඔවුන් නිකුත් කරන නිවේදන හෝ සමාජ මාධ්‍ය පෝස්ට්වලට නොරැවටෙන ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් රටේ ජනතාවට අවධාරණය කරයි.

Latest Posts

spot_imgspot_img