දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෑතකදී වාර්තා වූ උණ රෝගී තත්ත්වය Meningitis හෙවත් මොළයේ උණ තත්ත්වයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ. මේ වන විට මධ්‍යම සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් මෙම රෝගය පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත්, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝගය වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
රෝග ව්‍යාප්තිය සහ බලපෑමට ලක්වූ ප්‍රදේශ
රෝගීන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදු කළ තරල පරීක්ෂණ (spinal fluid tests) මගින් තහවුරු වී ඇත්තේ මෙම තත්ත්වයෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ ළමුන් බවයි. මෙම වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වය ප්‍රධාන වශයෙන් පාසල් දරුවන් අතර පැතිර යමින් පවතී.
දෙනියාය ප්‍රදේශයේ පාසලකින් පළමු රෝගී පොකුර වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා වලට අනුව දැනට දිවයින පුරා මෙනින්ජයිටිස් රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.
දියතලාව – රෝගීන් 28ක්
වැලිමඩ – රෝගීන් 13ක්
රිකිල්ලගස්කඩ රෝහල – රෝගීන් 25ක්
මීට අමතරව කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වී තිබේ. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උන රෝගය යැයි සැකකෙරෙන තත්ත්වයකින් මියගොස් ඇති අතර, තවත් රැඳවියන් පිරිසක් රෝගාතුර වී ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසයි.

සෞඛ්‍ය නිලධාරින් පෙන්වා දෙන ආකාරයට Meningitis හෙවත් මොළයේ උණ රෝගයේ මුලික රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය සහ වමනය අධී ලක්ෂනත් පෙන්වා දී ඇති මිට අමතරව ඔක්කාරය, බෙල්ලේ තද ගතිය සහ හිරු එළියට නිරාවරණය වීමේ අපහසුව (photophobia) ඇතිවිය හැකිය.
මානසික ස්වභාවයේ වෙනස්වීම් (altered mental status) ද රෝග ලක්ෂණයක් ලෙස ශ්‍රී ලංකා අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Internal Medicine) වෛද්‍ය මාර්ගෝපදේශ වල දැක්වේ.
මෙම රෝගය ආසාදිතයෙකු සමඟ සමීපව කටයුතු කිරීම සහ ස්පර්ශය මගින්, අපිරිසිදු හෝ අපවිත්‍ර වූ පානීය ජලය සහ ආහාර මගින් සහ මළපහ ආධී බහිස්රාවී ද්‍රව්‍ය හරහා සම්ප්‍රේෂණය විය හැකි බවට ද සෞඛ්‍ය අංශ සැක පළ කරයි.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර සහ වෛද්‍ය උපදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වෛරස් විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර ඇත. මෙම කමිටුව මගින් රෝගය පැතිරීම සමාලෝචනය කර අවශ්‍ය පියවර නිර්දේශ කරනු ඇත. මෙම වෛරස් තත්ත්වය සාමාන්‍යයෙන් ඉබේ පහව යන එකක් වුවද, මොළයේ පටක ආසාදනය වන එන්සෙෆලයිටිස් (encephalitis) වැනි දරුණු තත්ත්වයන් දක්වා වර්ධනය වීම කලාතුරකින් සිදුවිය හැකි බැවින් සුදුසු පූර්වාරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
රෝග නිශ්චය කිරීම සඳහා ලම්බර් පන්චර් (Lumbar Puncture), රුධිර වගාවන් (Blood Culture), FBC සහ CRP වැනි පරීක්ෂණ භාවිත කරන බව වෛද්‍ය මාර්ගෝපදේශ වල සඳහන් වේ.
මහජනතාව සඳහා උපදෙස්
- පවතින වැසි සහිත කාලගුණය සහ වෙසක් සමයේ දන්සැල්වලදී මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අවධාරණය කරයි.
- පානය කිරීම සඳහා උණු කර නිවාගත් ජලයම භාවිත කරන්න.
- ආහාර පිළියෙළ කිරීමේදී ඉහළ සනීපාරක්ෂක පුරුදු පවත්වා ගන්න.
- ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින්න සහ මුඛ ආවරණ පළඳින්න.
- රෝග ලක්ෂණ මතු වුවහොත් ප්‍රමාද නොකර වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.
රෝහල්ගත කළ රෝගීන්ගේ තත්ත්වය ප්‍රතිකාර ලැබීමෙන් පසු යහපත් අතට හැරී ඇති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි.



