Latest Posts

බස්නාහිර ආණ්ඩුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි? “රටේ ආර්ථික දැක්මට ශක්තියක් වීමට තවදුරටත් සූදානම්!”

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සම්බන්ධයෙන් මෑතකාලීනව මාධ්‍ය තුළ පළවන විවිධ අනුමාන කිරීම් පිළිබඳව පැහැදිලි කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, ආණ්ඩුකාරවරයා ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස පැවරී ඇති අතිරේක රාජකාරි මෙන්ම සිය පවුලේ වගකීම් ද සමබරව පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බැවින්, තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදීම ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව හනීෆ් යූසුෆ් මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක

කෙසේ වෙතත්, පළාත් පාලන කටයුතුවල සුමට හා විධිමත් සංක්‍රාන්ති කාලසීමාවක් සහතික කිරීම වෙනුවෙන්, ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තමන් තවදුරටත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බව එතුමා අවධාරණය කරයි. රට වෙනුවෙන් වගකීම් සහගත ධුරයක් හොබවමින් දේශයේ ප්‍රගතිය උදෙසා දායක වීමට ලැබීම තමන් ලැබූ භාග්‍යයක් කොට සලකන බව ඔහු අවධාරණය කරයි, ඒ සඳහා අවස්ථාව ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත සිය ගෞරවපූර්වක කෘතඥතාව පළ කර සිටියි.

රට වෙනුවෙන් දිගටම කැපවන ස්වේච්ඡා මෙහෙවර

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වූ පසුව ද, ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට ශක්තියක් වෙමින්, විදේශීය සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා තමන් සතු ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බව හනීෆ් යූසුෆ් වැඩිදුරටත් පවසයි. ඒ අනුව, දැනට තමන් දරන “විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත” ස්වේච්ඡා තනතුරේ තවදුරටත් ගෞරවයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අපේ දේශයට සේවය කිරීම සඳහා තමා තුළ ඇති කැපවීම නොසැලී පවතින බවත්, ජනාධිපතිවරයා තමා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව බලවත් කෘතඥතාව පළ කරන බවත් පවසමින් ආණ්ඩුකාරවරයා සිය මාධ්‍ය නිවේදනය අවසන් කර ඇත.

Latest Posts

spot_imgspot_img