රටේ නීතිය සැමට සමාන බව වත්මන් රජය නිරන්තරයෙන් ප්‍රකාශ කළද, නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි සංවේදී පරිසර පද්ධතියක් අමු අමුවේ ඝාතනය කරමින් සිදුවන මහා පරිසර සංහාරයක් සහ රාජ්‍ය දේපළ අවභාවිතයක් පිළිබඳව බරපතල තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
සමුද්‍ර මට්ටමේ සිට අඩි 5000ට ඉහළ භූමිවල ගස් කැපීම ජනාධිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති පසුබිමක, නුවරඑළිය නගර සභාව විසින් බදු දී ඇති නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ (Nuwara Eliya Golf Club) භූමිය තුළ මෙම පරිසර විනාශය සිදුවෙමින් පවතී. මෙම බිහිසුණු අපරාධය ඉදිරියේ නුවරඑළිය පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන මුනිවත රැකීම පිළිබඳව මේ වන විට රට පුරා දැඩි ප්‍රශ්න කිරීම් මතු වෙමින් ඇත.
Ring Barking ක්‍රමයෙන් ගස් 60 ක් මරා දැමීමේ කෘර උත්සාහයක්











මෙම මහා පරිසර විනාශය සම්බන්ධයෙන් පරිසරවේදී තිස්ස සෙනෙවිරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත සහ අනෙකුත් වගකිව යුතු රාජ්‍ය ආයතන වෙත නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලි සහ ප්‍රදේශවාසීන්ගේ සාක්ෂි අනුව සිදුවී ඇති විනාශයේ තරම මෙසේය:
භූමියේ තිබූ වටිනා ‘ග්රැන්ඩිස්’ වර්ගයේ විශාල ගස් 5ක් සම්පූර්ණයෙන්ම කපා බිම හෙළා ඇති අතර, එම දැව පෞද්ගලික පරිහරණය සඳහා ගෘහ භාණ්ඩ හා වහල ඉදිකිරීම් කටයුතුවලට යොදාගෙන තිබේ.
තවත් වටිනා ගස් 60 කට අධික සංඛ්‍යාවක (ප්‍රදේශවාසීන්ගේ නිශ්චිත ගණනය කිරීම් අනුව 52 ක) ගසේ කඳ කොටසේ පොතු සහ කැම්බියම් (Cambium) කොටස වලයාකාරව කපා ඉවත් කර ඇත. මේ හරහා ගස් සෙමින් වියළී මියයෑමට සලස්වන කෘර “Ring Barking” උපක්‍රමය භාවිත කර තිබේ.
අඩි 5000 සීමාවේ පිහිටි මෙම සංවේදී කලාපයේ සිදුවන ඕනෑම වෙනස්කමකදී හග්ගල උද්භිත උද්‍යානයේ උපදෙස් ලබාගත යුතු බවට දිස්ත්‍රික් කමිටු තීරණයක් පැවතුණද, එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති අතර කිසිදු රාජ්‍ය අවසරයකින් තොරව, මෙම රාජ්‍ය භූමිය තුළම අනීතික ලෙස දැව ඉරුම් මඩුවක් (ලී මෝලක්) පවත්වාගෙන ගොස් තිබේ.



මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති සංරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කර ඇති බවට තොරතුරු පවතින නමුත්, මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, නුවරඑළිය නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කිසිදු ලිඛිත අවසරයක් හෝ පරිසර ශක්‍යතා වාර්තාවක් ලබාගෙන නොමැත.
CCTV මැකීමේ කුමන්ත්‍රණයක්?
නීති විරෝධී ලෙස ලී ඉරන ආකාරය සහ ලී මෝල ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන පැහැදිලි වීඩියෝ සාක්ෂි පරිසරවේදීන් විසින් පොලීසියට ලබා දී තිබේ. එසේ තිබියදීත්, අදාළ යන්ත්‍රෝපකරණ අත්අඩංගුවට ගැනීමට හෝ සැකකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට නුවරඑළිය පොලීසිය අසමත් වී ඇත.
වඩාත්ම කනගාටුදායක කරුණ නම්, 2024.11.20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු අංක බී/2312/24 දරන B වාර්තාව මඟින්, පොලීසිය මෙම මහා පරිසර අපරාධය දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන හුදෙක් “සුළු අනර්ථයක් කිරීමේ” වරදක් ලෙස පමණක් ලඝු කර වාර්තා කර තිබීමයි. මීට අමතරව, මෙම අපරාධය වසන් කිරීම සඳහා අදාළ ස්ථානයේ CCTV දර්ශන දින තුනකින් ස්වයංක්‍රීයව මැකී යන පරිදි සකස් කර ඇති බවටද තොරතුරු වාර්තා වේ.
විමර්ශන බුරියානි පිඟානට යටවුණාද?
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිහඬතාව පිටුපස ඇති අභිරහස හෙළි කරමින් පසුගිය 2026.03.06 දින සුවිශේෂී සිදුවීමක් වාර්තා විය. මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්, අපරාධය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරනු වෙනුවට, චූදිත පාර්ශවය (ගොල්ෆ් සමාජයේ බලධාරීන්) විසින් සපයන ලද දිවා ආහාර (බුරියානි) අනුභව කර සන්තෝසම් ලබාගෙන ඇති බවට බරපතල චෝදනා එල්ල වී ඇත.
රාජ්‍ය නිලධාරීන් මෙලෙස සංග්‍රහ සහ තුටු පඬුරුවලට යටවී වැරදිකරුවන් ආරක්ෂා කරන්නේ නම්, වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ “සැමට එක නීතියක්” යන සංකල්පයට සිදුවන්නේ කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරති.
“ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේද?” – ජනතාවගෙන් දැඩි විවේචන
පෙර පැවති පාලන සමයන්හිදී සිදු වූ මහා පරිමාණ දූෂණ, වංචා සහ පරිසර විනාශයන් නැවැත්වීමටත්, හොරුන් අල්ලා දඬුවම් දීමටත් අපේක්ෂාවෙන් ජනතාව වත්මන් ජාතික ජන බලවේග රජයට බලය ලබා දුන්හ. එහෙත්, බලගතු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා සහ කමිටුව රටේ නීතිය අභිබවා යද්දී බලධාරීන් දක්වන මෙම අලස පිළිවෙත දෙස බලන විට, තමන් “ඉඟුරු දී මිරිස් ගත්තා වැනි” හෝ “කබලෙන් ලිපට වැටුණා වැනි” තත්ත්වයකට පත්ව ඇත්දැයි ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු දැඩි කලකිරීමෙන් යුතුව විමසති.
පරිසරවේදී තිස්ස සෙනෙවිරත්න මහතා ඇතුළු සිවිල් සංවිධාන බලකර සිටින්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, මෙම මහා පරිසර සංහාරයට වගකිවයුතු සියලුම ඉහළ නිලධාරීන්ට එරෙහිව අල්ලස් හා දූෂණ විරෝධී පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන ලෙසත්ය.



