එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන සන්ධානයක් හෝ දීගයක් කිසිදා සිදු වෙන්නේ නෑ…

ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් නව පරපුරේ නායක උවිඳු විජේවීර පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව ජනතාවට ලබා දුන් මැතිවරණ පොරොන්දු මේ වන විට එකින් එක ගිලිහෙමින් පවතින බව බවත් විශේෂයෙන්ම ජනතාවගේ එදිනෙදා ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් ඔහු අවධාරණය කරයි.

“අද වෙනකොට තෙල් ලීටරයක් ගහන්න රුපියල් 500ක් අරන් යන්න ඕනෑ තත්ත්වයක් උදා වෙලා. ගල්අඟුරු ගෙන්වීමෙන් සිදුවුණු අතිවිශාල පාඩුව පියවා ගන්න ආණ්ඩුව කරන්නේ විදුලි බිල වැඩි කරලා ඒ බරත් ජනතාවගේ කර මතම පටවන එකයි. මේ ආකාරයට ජනතාව පීඩාවට පත් කරන්න ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ,”

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් උවිඳු විජේවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ආණ්ඩුව මුළුමනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටත්ව ගමන් කරන බවත් වෙනසක් අපේක්ෂාවෙන් ජනතාව විසින් නව ආණ්ඩුවක් පත් කළද, ඔවුන් තවමත් අනුගමනය කරන්නේ පරණ ක්රමවේදයම බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් උවිඳු විජේවීර අවධාරණය කරන්නේ,
“මේ ආණ්ඩුව යන්නෙත් රනිල්ගෙ කලිසම ඇඳගෙන, රනිල් ගිය පාරේමයි. ජනතාවගේ බෙල්ල මිරිකලා සල්ලි හොයන එක තමයි මේගොල්ලොත් කරන්නේ,”
පෙර සිටි දේශපාලනඥයින් වගකීම් විරහිතව මහජන මුදල් සොරකම් කරමින් තම සාක්කු පුරවා ගත් නිසා ජනතාව ඔවුන්ව ගෙදර යැවූ බව සිහිපත් කරමින් උවිඳු විජේවීර කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ ස්වභාවය ඊට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇති බවයි.
“මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ කියලා කිව්වට, දැන් හැමතැනම තියෙන්නේ පද්ධති Hack වෙන එකයි. දත්ත සහ පද්ධති ආරක්ෂා කරගන්න බැරි තරමට පරිපාලන දුර්වලතා මතු වෙලා,”
ආණ්ඩුවේ ඩිජිටල් සහ පරිපාලන කළමනාකරණය පිළිබඳව ඔහු සිය අප්‍රසාදය පළ කළේය.



