Latest Posts

කොළඹ සුපිරි ගොඩනැගිලි ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ගේ තිප්පොළක්ද? ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත විදේශිකයන් කොටුකරන මෙහෙයුම පුළුල් වෙයි!

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන දැවැන්ත අන්තර්ජාල මූල්‍ය වංචා (Online Financial Scams) ජාලයක සුලමුල මේ දිනවල හෙළිදරව් වෙමින් පවතී. වීසා රහිතව සහ සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් මෙම සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවූ විදේශිකයන් විශාල පිරිසක් ඉකුත් දින කිහිපය පුරා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර, මෙම සෝදිසි මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට මේ වනවිට ආරක්ෂක අංශ වෙත ඉහළින්ම උපදෙස් ලැබී තිබේ.

මේ වන විට ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව, මෙම විදේශිකයන් සිය නීතිවිරෝධී මෙහෙයුම් සඳහා කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සුපිරි වාණිජ ගොඩනැගිලි යොදාගෙන ඇති බවට තහවුරු වෙමින් පවතී. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ ආයතන හෝ ආයෝජන සමාගම් ලෙස පෙනී සිටිමින් මොවුන් මෙම මූල්‍ය වංචා සිදු කරන අතර, ඉදිරියේදී මෙම ආයතන ඉලක්ක කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි ගොඩනැගිලි වන වන් ගෝල්ෆේස් (One Galle Face), ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (World Trade Center), සිනමන් ලයිෆ් (Cinnamon Life) සහ හැව්ලොක් සිටි හි මිරේකා කුලුන (Mireka Tower) වැනි ස්ථානවල විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාල කෙරෙහි ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව තිබේ. අධි ආරක්ෂිත සහ සුඛෝපභෝගී පසුබිමක් තුළ ක්‍රියාත්මක වන මෙවැනි සුපිරි කාර්යාල සංකීර්ණ, ජාත්‍යන්තර අපරාධ ජාලයන්ට නීතියේ ඇසට වැලි ගසා සැඟවී සිටීමට කදිම තෝතැන්නක් වී ඇති බවට සැක කෙරේ.

මෙය හුදෙක් වීසා නීති උල්ලංඝනය කිරීමක් පමණක් නොවේ; ජාත්‍යන්තර සයිබර් අපරාධ කල්ලි (Transnational Cybercrime Syndicates) ශ්‍රී ලංකාව සිය කලාපීය මධ්‍යස්ථානය බවට පත් කරගැනීමේ බරපතල අනතුරක පෙරනිමිත්තකි. මෑතකදී හෙළි වූ කරුණු අනුව, මෙම බොහෝ පිරිස් අන්තර්ජාල කැසිනෝ, ක්‍රිප්ටෝ මුදල් වංචා (Crypto Scams) සහ වෙනත් විද්‍යුත් මූල්‍ය ජාවාරම් හරහා ඩොලර් මිලියන ගණනින් මුදල් විශුද්ධිකරණයේ නිරත වී ඇත. මෙරට නීතියේ ඇති හිඩැස් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මක වන මෙම ජාලය මුලිනුපුටා දැමීම සඳහා ඉදිරි දිනවලදී මෙම සුපිරි කාර්යාල සංකීර්ණ වෙත ආරක්ෂක අංශ කඩා පැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Latest Posts

spot_imgspot_img