Latest Posts

මහා භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක්! දයාසිරි ජයසේකරගෙන් කථානායකට ලිපියක්!

මහා භාණ්ඩාගාරයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හිතාමතා උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්, ඔහුට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

2026 මැයි 06 දිනැති ලිපියක් මඟින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, එහි ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ.

මූල්‍ය වංචා සහ වගකීම පැහැර හැරීමේ චෝදනා

ඕස්ට්‍රේලියානු ණය මුදලක් ගෙවීමක් ලෙස හඳුන්වමින් මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක මුදලක් (රුපියල් මිලියන 800 කට අධික) හඳුනා නොගත් ගිණුමකට මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු මතු කර ඇත. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බවත්, මහා භාණ්ඩාගාරයේ ප්‍රධාන නිලධාරියා ලෙස ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කර නොමැති බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මීට අමතරව, රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීම් සඳහා අවස්ථා තුනකදී සහභාගී වීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු එවීමට කටයුතු නොකිරීම හරහා ස්ථාවර නියෝග උල්ලංඝනය වී ඇති බව ද ලිපියේ සඳහන් වේ.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව

හර්ෂණ සූරියප්පෙරුම මහතා මහා භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බව දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි. මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඔහු පවසන්නේ, සූරියප්පෙරුම මහතා 2010 වසරේදී ලබාගත් ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) (ඈ) (xiii) ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි බැවින්, ඔහු එම තනතුරු දැරුවේ සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර නොගෙන නම්, එය ව්‍යවස්ථාව හිතාමතා උල්ලංඝනය කිරීමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම කරුණු පදනම් කරගනිමින් දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් පහත ඉල්ලීම් සිදුකර ඇත:

  1. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 29(1) යටතේ මෙය හදිසි යෝජනාවක් ලෙස සලකා ප්‍රමුඛත්වය ලබාදීම.
  2. මහා භාණ්ඩාගාර ලේකම්වරයා ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව කරුණු විමසීම.
  3. සිදුවී ඇතැයි කියන උල්ලංඝනයන් පිළිබඳව වහාම විභාග කර සුදුසු නිර්දේශ ලබාදීම සඳහා මෙම කරුණ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාව වෙත යොමු කිරීම.

මෙම චෝදනා සත්‍ය නම්, ඒවා 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හෝ පාර්ලිමේන්තුව මඟින් දඬුවම් කළ හැකි බරපතල වැරදි ගණයට අයත් වන බව ද මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Latest Posts

spot_imgspot_img