Latest Posts

විදුලි ගාස්තු 18%කින් ඉහළට: 95%කට සහන දෙන බව කියද්දී, ලක්ෂ සංඛ්‍යාත පවුල් ජිවන අර්බුදයක

මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් 5%ක පිරිසක් ඉලක්ක කරගනිමින්, ඒකක 180කට වඩා වැඩියෙන් පරිභෝජනය කරන නිවෙස් සඳහා විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙම ගාස්තු සංශෝධනය අද දින (මැයි 10) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී ඇති රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟය පියවා ගැනීම මෙම ගාස්තු වැඩි කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ. අදාළ පිරිවැය පියවා ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට එකඟ වී ඇති අතර, ඉතිරි හිඟ මුදල පියවා ගැනීමට මෙම 18%ක ගාස්තු වැඩිකිරීම ප්‍රමාණවත් බවයි කොමිසම ප්‍රකාශ කරන්නේ.

මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කරන්නේ මෙම වැඩිවීමෙන් සාමාන්‍ය පාරිභෝගිකයා ආරක්ෂා කර ඇති බවත් එමනිසා සමස්ත පාරිභෝගිකයින්ගෙන්, විදුලි ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන පිරිස එනම් 95%ක පිරිස මෙම වැඩිවීමෙන් නිදහස් කර ඇත. ඒ අනුව ඒකක 180 සීමාව ඉක්මවන පාරිභෝගිකයින් සඳහා පමණක් 18%ක අතිරේක බරක් පැටවේ.

“තීරණය කුණු කූඩයට දැමුණු!” – පාරිභෝගික සංගම්වල දැඩි විරෝධය

මෙම තීරණයට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විවේචනයක් එල්ල කළේය. ඔහු පෙන්වා දෙන්නේ මෙය දත්ත මත පදනම් වූ විද්‍යාත්මක තීරණයක් නොව, ඩීසල් සහ ගල් අඟුරු මාෆියාව සහ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වසා ගැනීමට ගත් උත්සාහයක් බවයි.

“මේක කෙලින්ම රටේ ලක්ෂ සංඛ්‍යාත පවුල්වල රාත්‍රී කෑම මේසයට බලපාන තීරණයක්. ඉදිරිපත් කර ඇති දත්තවල නිරවද්‍යතාවය තහවුරු කරන්න කිසිදු සාක්ෂියක් නෑ. අකාර්යක්ෂමතාවයේ බර ජනතාව මත පටවන්න එපා. අපි කොමිසමට කියන්නේ මේ තීරණය කුණු කූඩයට දාන්න කියලා,” යැයි ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන අර්බුද

පාරිභෝගික සංගම් පෙන්වා දෙන විදුලිබල මණ්ඩලය තුළ පවතින ප්‍රධාන දුර්වලතා කිහිපයක්,

  1. විදුලිබල මණ්ඩලය ආයතන 6කට වෙන් කර තිබුණද, විධිමත් වාර්ෂික ජනන සැලසුමක් නොමැති වීම,
  2. ගාස්තු වැඩි කිරීමට පදනම් කරගත් දත්ත මහජනයාට ප්‍රසිද්ධ නොකිරීම සහ
  3. බාල ගල් අඟුරු සහ ඩීසල් ගනුදෙනු හරහා සිදුවන පාඩුව පාරිභෝගිකයාගෙන් අය කරගැනීමට උත්සාහ කිරීම

යන ආධී කරුණු නිසා විදුලිබල මණ්ඩලය තුළ මෙම අර්බුදයට හේතු වී ඇති බවයි.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟ මධ්‍යම පාන්තික පවුල් රැසකගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ ද අනතුරු අඟවති.

Latest Posts

spot_imgspot_img